Gossips

ගැටුම් වැළැක්වීමට නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතුයි – හිටපු ජනපති

ගැටුම් වැළැක්වීමට ඇති එකම ක්‍රමය වන්නේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මෙවන් අවස්ථාවකදී නිසි ලෙස පොලීසිය මෙහෙයවීම ආණ්ඩුවේ යුතුකමක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
රට අස්ථාවර කිරීමට බලා සිටින දේශීය සහ විදේශීය බලවේග රට බෙදන ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබාගැනීමේ අරමුණින් 1983 වර්ෂයේ ඇතිවූ ආකාරයේ කෝළාහලයක් ඇති කිරීමට මාන බලමින් සිටින බවද එහි දැක්වෙනවා.
ඒ අනුව මෙම තත්ත්වය දිගින් දිගට පැවතීමට ඉඩ හැර බලා සිටීමට කිසිදු හැකියාවක් නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
එමෙන්ම මෙරට පළමු නිදහස් ආණ්ඩුවට සමාන සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන්ගේ සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවත මෙරට තුළ ගොඩනැගීමේ අවශ්‍යතාවක් පවතින බවද එහි සඳහන්.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අද උදෑසන ශ්‍රී මහා බෝධිය ඇතුලූ අනුරාධපුරයේ පූජනීය ස්ථාන වැඳ පුදාගැනීමෙන් අනතුරුව අනුරාධපුර පූජා භූමියේදී මාධ්‍ය වෙත රටේ වත්මන් වාතාවරණය පිළිබඳව තවදුරටත් අදහස් පළ කළා.
එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම භාරගත යුතු බවයි. එමෙන්ම තවදුරටත් මෙවැනි සිද්ධීන් ඇති නොවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් කටයුතු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා.