Gossips

ගැටුමකින් තුවාල ලැබූ දෙදෙනෙක් ගිලන් රථයක් තුළත් ගැටුමක් ඇතිකර ගනී

රඹුක්කන මුවපිටිය ප්‍රදේශයේදී දෙදෙනකු අතරවූ ගැටුමකදී තුවාල ලබා රඹුක්කන රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගිලන් රථයකින් පෙරේදා (19දා) රාත්‍රි කෑගල්ල මහ රෝහල වෙත රැගෙන යමින් සිටියදී ගිලන් රථය තුළ දෙදෙනා යළිත් වරක් ගහගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෑගල්ල රෝහල් පොලිසියෙන් වාර්තා වනවා.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 5 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ රඹුක්කන පොලිස් වසමේ මුවපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කිලිනොච්චිය ප්‍රදේශයේ සේවය කරන යුද හමුදා සෙබළෙක් හා පින්නවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.
කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන පින්නවල ප්‍රදේශයේ තරුණයා පෙරේදා (19දා) මුවපිටිය ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී සිටියදී එහිදී පුද්ගලයකු සමඟ බහින් බස් වීමක් සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
පසුව මොහු තවත් පුද්ගලයකු සමඟ යතුරුපැදියකින් සවස පින්නවල නිවෙස වෙත යමින් සිටියදී මුවපිටිය ප්‍රදේශයේ යුද හමුදා නිලධාරියා සමඟ පිරිසක් බීමත්ව පොල්ලක් පාර හරහා දමා යතුරුපැදිය නවතා විවාහ මංගල්‍ය උත්සවයේදී සිදු වූ බහින් බස් වීම පිළිබඳ පින්නවල තරුණයාගෙන් විමසා තිබෙනවා.
එහිදී යතුරුපැදිකරු හා යුද හමුදා නිලධාරියා අතර බහින් බස් වීමකින් පසු දෙදෙනා අතරවූ ගුටිබැට හුවමාරුවකින් තුවාල ලබා රඹුක්කන රෝහල වෙත ඇතුළත් කර තිබුණා.
යුද හමුදා නිලධාරියාගේ හිසෙහි පිටුපස තුවාලයක් ඇති බව පොලිසිය පවසනවා.
පසුව තුවාලකරුවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රඹුක්කන රෝහලේ ගිලන් රථයෙන් කෑගල්ල මහ රෝහල වෙත මාරු කර රැගෙන යමින් සිටියදී ගිලන් රථය ඇතුළේදී ද දෙදෙනා යළිත් වරක් ගහගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ.
පසුව දෙදෙනා කෑගල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අංක 06 වාට්ටුවේ දැනට දෙදෙනා ප්‍රතිකාර ලබනවා.