Gossips

ගාස්තු නොගෙවූ කරුවලගස්වැව දරුවන් 6 දෙනෙකුට විභාගය අහිමිවෙයි

දහම් පාසල් වර්ෂ අවසාන විභාග ප්‍ර‍්‍රශ්ණ පත්‍රයට සිසු දරුවන් හයදෙනෙකු මුදල් නොගෙවූ බව පවසමින් දරුවන් හයදෙනෙකුට විභාගයට පෙනී සිටීමට ඉඩ ලබා නොදීමේ සිද්ධියක් කරුවලගස්වැව ප්‍රදේශයෙන් වාර්තාවනවා.
කරුවලගස්වැව – සාලියවැව ප්‍රදේශයේ දහම්පාසලක ගුරුවරියක් මෙලෙස තම දරුවන්ට වර්ෂ අවසාන විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා නොදුන් බව පවසමින් දෙමාපියන් පිරිසක් සාලියවැව පොලීසියට ඊයේ (25) පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.
4 වන ශ්‍රේණියේ සිසු දරු දැරියන් පිරිසකටයි මෙලෙස මුදල් නොගෙවීම හේතුවෙන් විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී නොමැති බවට වාර්තාවන්නේ.
දෙමාපියන් පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වූයේ වර්ෂ අවසාන විභාගයේ ප්‍රශ්න පත්‍රයකට ගෙවිය යුතු රුපියල් 15 බැගින් වූ මුදල නොගෙවීම නිසා මෙලෙස අදාළ ගුරුවරිය තම දරුවන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී නොමැති බවටයි.
දහම් පාසලේ ප්‍රධානාචාර්ය හිමියන් පවා දැනුම්වත් නොකර මෙය සිදුකර ඇති බවට දෙමාපියන් පොලීසියට තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සාලියැව පොලීසියෙන් විමසීමක් කළ අතර, එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දෙමාපියන් පිරිසක් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.
ඒ අනුව විමර්ශන සිදුකරන බවද ඔහු සඳහන් කළා.