Gossips

ගාස්තු ඉහළ නැංවීම ගැන දුම්රිය මගී සංවිධානවලින් රජයට චෝදනා

ආණ්ඩුව ප්‍රෝඩාකාරී ලෙස දුම්රිය ගාස්තු ඉහළ නංවා ඇතැයි දුම්රිය මගී සංවිධාන චෝදනා කරනවා.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ නීත්‍යානුකූලව කලාප චක්‍රයට අනුකූලව ගාස්තු සංශෝධනය සිදුකළ බවයි.
අයවැය යෝජනාවකට අනුව ඔක්තෝබර් මස පළමුවැනිදා සිට ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා.
වසර 10 කට පමණ පසු සිදු කෙරුණු මෙවර ගාස්තු සංශෝධනයේදී කිසිදු පන්තියක අවම ගාස්තුවේ වෙනසක් සිදු වූයේ නැහැ.
කෙසේ වෙතත් අනෙකුත් ගාස්තු වැඩි වීමේ ප්‍රතිශතයන් සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් සමාජයේ ඇතිව තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අගෝස්තු 24 වනදා නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව කලාප චක්‍රයට අනුකූලව ගාස්තු සංශෝධනය සිදුකළ බවයි.
ඒ අනුව සෑම දුම්රිය ස්ථානයක හෝ උප දුම්රිය ස්ථානයක සිට දුර අනුව කලාප 5 ක් යටතේ මෙම ගාස්තු වැඩි වීම සිදුව තිබෙනවා.
එහිදී තුන්වන පන්තියේ ගාස්තුව ආසන්න රුපියල් 5 ටද දෙවන පන්තියේ ගාස්තුව ආසන්න රුපියල් 10 ටද තුන්වන පන්තියේ ගාස්තුව ආසන්න රුපියල් 20 ටද වටයන බව අදාල ගැසට් නිවේදනයේ සඳහන්.
ගාස්තු සංශෝධනයකින් තොරව ඉන්ධන සඳහා වන බදු ඉවත් කිරීම වැනි විකල්පයක් අනුගමනය කිරීම වඩා සුදුසු බව දුම්රිය මගී සංවිධාන පෙන්වා දෙනවා.