Gossips

ගාලූ ක්‍රීඩාගාරය ද ? ගාලූ කොටුවේ ලෝක උරුමය ද ?

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය අද අවධාරණය කළා.
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මතභේදයට ලක් වූ ක්‍රීඩාගාරය පමණක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවන බවයි.
ගාල්ල ක්‍රීඩාංගනයේ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාගාරය මගින් ක්‍රීඩාංගනය අවකාශයට විවෘත වීම අවහිර වන බව පෙන්වා දී ඇත්තේ යුනෙස්කෝ සංවිධානය විසින්.
ඒ අනුව, එය ගාලූ කොටුවේ ලෝක උරුම තත්ත්වයට බලපෑමක් ඇති කරන බව එමගින් ප්‍රකාශ කළ බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ.
ඒ අනුව, අදාළ ගොඩනැගිල්ල පමණක් ඉවත් කිරීමට සිදුවන බව ඔහු සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා සභාවෙන් ප්‍රශ්න කළේ ගාලූ ක්‍රීඩාගාරය ද, ගාලූ කොටුවේ ලෝක උරුමය රැක ගන්නවා ද යන්න තීරණය කළ යුතුව ඇති බවයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ක්‍රියාත්මක වීමත් සමඟ ක්‍රීඩාංගනය ද එම ස්ථානයෙන් ඉවත් වන බවට රාවයක් පැතිරුණා.
ඒ සම්බන්ධයෙන් විවිධ අංශ අදහස් දැක්වූ අතර, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය දැනට පවතින සුවිශේෂී ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්නම් එම තීරණය යළි සලකා බලන ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද රජයෙන් ඉල්ලා සිටියා.
ට්විටර් පණිවුඩයක් මගින් ඔහු සඳහන් කළේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සටහන් රැසක් තැබූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කරන්නේ නම් එය කණගාටුදායක කරුණක් බවයි.
එමෙන්ම, එය ජාතික ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණ රැසක් අත්කර දුන් ඔවුන් ඉහළම දස්කම් දැක්වූ ක්‍රීඩා පිටියක් බවත් මහේල ජයවර්ධන සිහිපත් කළා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේ ඉදිකර ඇති එම ක්‍රීඩාගාරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල නගර සභාව දැඩි විරෝධයක් පළ කරනවා.
ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නගර සභාව මගින් වසර පුරා බදු දී ඇති ක්‍රීඩාගාර ගොඩනැගිල්ල ඉවත් කිරීමෙන් නගර සභාව දැඩි අපහසුතාවකට ලක්වන බවයි.
ගාලූ ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා ප්‍රශ්න කිරීමත් සමඟ ඒ පිළිබඳව සංවාදයක් පැන නැගුණා.
එහිදී සාගල රත්නායක අමාත්‍යවරයා කියා සිටියේ ගාලූ ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බවයි.