Gossips

ගාලූ ක්‍රීඩාංගණය රැකගන්න විරෝධතාවක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජය කටයුතු කරන බවට චෝදනා කරමින් ගාල්ල නගරයේදී අද විරෝධතාවක් පැවැත්වුණා.
ගාල්ල ක්‍රීඩාංගණය සුරැකීමේ සංවිධානය සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම විරෝධතාව සංවිධාන කර තිබූ අතර, ඊට ප්‍රදේශවාසීන්ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, චන්දිම වීරක්කොඩි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ සහ ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා සහ පළාත්පාලන මන්ත්‍රීවරුන් රැසක් ඊට එක්ව සිටියා.
අනතුරුව ඔවුන් පා ගමනින් ක්‍රීඩාංගණය තුළට පිවිසි අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රමේෂ් පතිරණ අදහස් දක්වමින් කියා සිටියේ මෙම ක්‍රීඩාංගණය ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණයක් ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් තරඟ නොපවත්වන ලෙස යුනෙස්කෝව දැනුම්දීමක් සිදුකර නොමැති බව, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බවත්, මතභේදයට ලක් වූ ක්‍රීඩාගාරය පමණක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නා.