Gossips

ගාලූ ක්‍රිකට් පිටියට එරෙහිවන්නේ පාපන්දුවද? යුනෙස්කෝවටත් සැක

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සහයෝගය පළ කරන්නේ, එය මහජන ක්‍රීඩාංගණයක්ව පැවති සමයේ පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටි පිරිසක් බව, ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාවේ මහ ලේකම් ප්‍රේමලාල් රත්නවීර පවසනවා.
කෙසේ වෙතත් යුනෙස්කෝ සංවිධානය ගාලූ ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ ක්‍රීඩාංගණය ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක් සටහන් කර නොමැති බවයි ඔහු සඳහන් කළේ.
බී බී සී සිංහල සේවය සමඟ සංවාදයකට ඊයේ එක්වෙමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධනද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අදහස් පළ කරමින් කියා සිටියේ මෙරට පවතින ක්‍රීඩාංගන ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් බවයි.
එබැවින් දේශපාලනයෙන් තොරව ඒවායින් උපරිම ප්‍රයෝජන ගැනීම වැදගත් බවයි ඔහු පෙන්වා දුන්නේ.
එමෙන්ම අනවසර ගොඩනැගිල්ලක් පිළිබඳව ගාල්ල ක්‍රීඩාංගණයේ ගැටළුවක් පවතින්නේ නම් එයට පහසුවෙන් විසඳුමක් ලබාදිය හැකි බවද ඔහු සඳහන් කළා.
හිරු ටී වී සලකුණ දේශපාලන සංවාදයට ඊයේ එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියා සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නීත්‍යානුකූල බවට සනාථ කළ හැකි සියලූ ලිපි ලේඛන තමන් සතු බවයි.
යුනෙස්කෝ සංවිධානය, ජාතික යුනෙස්කෝ කොමිෂන් සභාව සහ ඇතැම් රජයේ අමාත්‍යවරුන් පවසන පරිදි ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් නොකරන්නේ නම් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් ඇත්තේ කා හටද?