Gossips

ගාලු පිටියේ ක්‍රිකට් නවතින ලකුණු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැවති තරඟවලින් වැඩිම ජයග්‍රහණය ලබාදුන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මින් ඉදිරියට කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් නොපැවැත්වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පරිපාලනය භාරව සිටින බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් අනුර වීරසිංහ ද එක්ව සිටියා.
කෙසේ වෙතත්, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගාලූ කොටුව ආසන්නයේ මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිහිටා ඇති අතර එය ඉදිකිරීම් කිසිදු වගකිවයුතු ආයතනයක අනුමැතියකින් තොරව සිදුකර ඇති බවයි දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර, ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ අමාත්‍ය මණ්ඩලය බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි ප්‍රකාශ කළා.
මෙම ක්‍රීඩාංගණය ඉවත් කිරීමට අදාළ ආරම්භක යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ දෙසැම්බර් මාසයේදියි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරන්නේ නම් ඒ වෙනුවට විකල්ප ක්‍රීඩාංගණයක් කුමන ප්‍රදේශයක ඉදිකරන්නේ ද යන්න පිළිබදව ඊයේ පැවති සාකච්ඡාවේදී දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත්ව තිබෙනවා.
1998 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලද ගාල්ල ක්‍රීඩාංගණයේ මේ වන විට ටෙස්ට් තරඟ 31ක් සහ එක්දින තරග 6ක් පවත්වා තිබෙනවා.
එම ටෙස්ට් තරඟ 31න් තරඟ 18ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර, තරඟ 6ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණා.