Gossips

ගාලු පාර, දෙවටින් වසා දමමින්, ප්‍රදේශවාසීන් විරෝධතාවක

ගාල්ල – දෙවට වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගැනීමත් සමඟ අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
ඒ, ප්‍රදේශවාසින් ඊට විරෝධය පළ කිරීමත් සමඟයි. ඔවුන් අද පෙරවරු 8.30 ට පමණ ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය දෙවට ප්‍රදේශයෙන් අවහිර කරනු ලැබුවේ ටයර් පුළුස්සා දමමින්.
එම අවස්ථාවේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගත් අතර, උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිස් එය නවතා අදාළ ස්ථානයට පිටත්ව ගියා.
ඒ සමඟම ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ පුළුස්සා දැමූ ටයර් නිවා දැමීමට පියවර ගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනවසර ඉදිකිරීම් සිදුකර ඇති පුද්ගලයින්ට මීට පෙර ලිඛිතව එම ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.
කෙසේ වෙතත්, ලබාදුන් කාලය තුළ එම ඉදිකිරීම් ඉවත් කර නොගැනීම හේතුවෙනුයි ඒවා ඉවත් කිරීමට අද පියවර ගැනුණේ.
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමත් සමඟ ප්‍රදේශවාසීන් සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර, එම ස්ථානයට පොලිසියද කැඳවා තිබුණා.
පසුව එම ස්ථානයට පොලිස් කැරලි මර්දන ඒකකයද කැදවූ අතර, ඔවුන් සහ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගැනුණා.