Gossips

ගාලු පාරේ බස් වර්ජනය දුරදිග යයි

දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ ආරම්භ කර ඇති වර්ජන ක්‍රියාමාර්ගය සාධාරණ නොවන බව ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසනවා.
එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර කියා සිටියේ වර්ජනයේ නිරත බස් රථ සියල්ලගේ මාර්ග බලපත්‍ර මෙන්ම රියදුරන්ගේ සහ රිය සහයකයින්ගේ බලපත්‍ර අහෝසි කිරිමටද කටයුතු කරන බවයි.
කෙටි දුර ධාවන බස් නැවතුම්වල දුරගමන් සේවා බස්රථ නැවැත්විමට ඉඩ ලබා නොදීමට විරෝධය පළකරමින් දකුණු පළාත් දුරගමන් සේවා බස්රථ මෙම වර්ජනය ආරම්භ කළේ අද උදෑසනයි.
මේ හේතුවෙන් සති අන්තයේ නිවාඩු ලැබ නැවත කොළඹට පැමිණෙන මගීන් සහ කාර්යාල වෙත පැමිණෙන පිරිස් අපහසුතාවට පත් වු බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
රත්ගම, කහව, බලපිටිය, අලූත්ගම, මොරටුව, පානදුර සහ වැල්ලවත්ත ආදි ප්‍රදේශවලින් දුරගමන් සේවා බස්රථ වලට එල්ලවු තර්ජන හේතුවෙන් ඔවුන් මෙලෙස බස්රථ ධාවනයෙන් ඉවත්ව සිටිනවා.
කෙසේ වෙතත් දුරගමන් සේවා බස් රථ කෙටි දුර බස් රථ නැවතුම් පලවල් නැවත්විම හේතුවෙන් සිය අදායම් පහල බැස ඇති බව කෙටිදුර ගමන් බස්රථ හිමියන් පවසනවා.
ඒ අනුව දුරගමන් සේවා බස් රථවලට මෙම කාර්යයට ඉඩ ලබා දිය නොහැකි බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිලිප් රත්නවිර කියා සිටියේ.
මාතර මගී ප්‍රවාහන සංගමයේ සභාපති අරුණ හල්පගේ කියා සිටියේ ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.
තම ගැටළුවට විසඳුමක් නොලැබුණහොත් දීපව්‍යාප්ත වර්ජනයකට අවතීර්ණ වීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.