Gossips

ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට ප්‍රහාරයක්

ගාල්ල කරාපිටිය රෝහලේ රෝගියෙකුගේ උපස්ථාන සදහා සිටි පුද්ගලයෙකු එම වාට්ටුවේ වෛද්‍යවරයෙකුට පහර දීම නිසා එම වෛද්‍යවරයා රෝහල් ගත කර තිබෙනවා.
අද (09) දහවල් 12.30 ට පමණ මෙය සිදුව ඇති බවයි සඳහන් වන්නේ.
රෝගී වී රෝහලට ගෙන ආ තම මවට නිසි ප්‍රතිකාර නොකළ බව කියමින් උපස්ථාන කිරීම සදහා සිටි පුතු මෙසේ පහර දී තිබෙනවා.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ගාල්ල කරපිටිය රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් කළ විමසීමක දී ඔවුන් සදහන් කළේ අදාළ රෝගියාට ප්‍රතිකාර කටයුතු සිදු කර වෙනත් වාට්ටුවක් සදහා මාරු කිරීමට නියමිතව තිබිය දී නොදැනුවත්කම මත මෙසේ වෛද්‍යවරයාට පහර දී ඇති බවයි.
පහර දුන් සැකකරු කරාපිටිය රෝහල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල මුලස්ථාන පොලිසිය වෙත භාර දී ඇති අතර හෙට (10) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පාසලක උසස් පෙළ සිසුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය රෝහල් පොලිසිය සහ ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.