ගාමිණී මුලින්ම දුමින්දගේ හිසට වෙඩි තැබීමත් සමග බහින්බස්වීම මහා ඛේදවාචකයක් බවට පත්වුණා – ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න
භාරතගේ ආරක්ෂක ගාමිණී නැමැත්තා හිසටම තැබූ වෙඩි පහරවල් 2න් දුමින්ද සිල්වා මළ කඳක් මෙන් ඇද වැටුනා…..
අද දවසේ කාගේත් හදවතට දැනෙන උණුසුම්ම උණුසුම් තේමාව බවට පත්ව ඇත්තේ කුමන කරුණක්ද යැයි විමසුවහොත් ඒ ජනාධිපතිවරයාගේ එල්ලුම් ගහ යැයි යමෙකුට සිතෙන්නට ඉඩ ඇතත්, නියත වශයෙන්ම සිහිබුද්ධිය ඇති ඕනෑම අයකුගේ සිතට නැඟෙන්නේ වරදක් සිදු නොකළ අයකුට එවැනි දඬුවමක් වැරැදීමකින් හෝ නියමව මරණ දඬුවම හිමි වුවහොත් එය කොයි තරම් අපරාධයක්ද යන්නය.
එලෙස සිහිපත් වන්නේ ආන්දෝලනාත්මක භාරත ඝාතන නඩුවේ වරදකරුවන් බවට තීන්දු වී එල්ලුම් ගසට නියමව සිටින දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ගේ එකී තීන්දුවට එරෙහි අභියාචනා පිළිඳව ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය පසුගිය බදාදා නිමවීමත් සමඟය.
නීතිපතිවරයා විසින් ගොනුකරන ලද අධිචෝදනා පත්‍රය පරිදි විශේෂ ත්‍රි-පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග වූ "භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව' මඟින් ආර්. දුමින්ද සිල්වා සහ ඔහුගේ ආරක්ෂකයන් සිවුදෙනාට 'මරණ දඬුවම්' (එල්ලුම්ගස් යැවීමට) නියම කිරීමේ සිද්ධිය මේ රටේ ඇති උත්තරීතරම අධිකරණය හමුවේ විමසුමට ලක් කොට ඉදිරි සති කිහිපයක් ඇතුළත තීන්දුව දීමට නියමිතව ඇති මොහොත බවට අද දවස පත්ව ඇති නිසාමය.
ආන්දෝලනාත්මක වූ ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ඇත්ත නැත්ත 'ටක්කෙටම' දැනගන්නට සලස්වන 'මව්බිම' ඇත්තෙන්ම එකී නඩු විභාගයේදී අධිකරණය හමුවේ අනාවරණය වූයේ කුමක්දැයි ඉකුත් බදාදා (25දා) දිනයෙන් නිමාවූ එකී නඩු විභාගය පිළිබඳ ඇති තතු මෙලෙස පෙළගස්වමි.
2011 ඔක්තෝබර් මස 08 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවන කාලය අතරතුර කොළොන්නාව ආසනයේ හිඹුටාන ප්‍රදේශයේදී එජනිස සංවිධායකවරුන් දෙදෙනකු වූ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ව සිටි ආර්. දුමින්ද සිල්වාගේ හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ වාහන දෙක එකටෙක මුණ ගැසී ඇත.
සිය වාහනවලින් බැසගත් මන්ත්‍රිවරුන් දෙදෙනා අතර යම් සිද්ධියක් සම්බන්ධයෙන් වචන හුවමාරුවක් සිදුවන අතරතුර දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා, භාරත මන්ත්‍රිවරයාගේ බෙල්ල ප්‍රදේශයට අතින් පහරක්දී ආපසු හැරී යද්දී සමබරතාව ගිලිහීයෑම මත භාරත පැත්තකට ඇලව ඇත.
ඒ සමඟම ආපසු හැරී යන්නට ගිය දුමින්ද සිල්වාගේ නළල ප්‍රදේශයට භාරතගේ ආරක්ෂක ගාමිණී රාජපුරගේ පිට පිටම වෙඩි පහරවල් දෙකක් එල්ල කිරීම නිසා දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා සිහිසුන්ව බිමවැටී ඇති අතර ඔහු සමඟ සිටි ආරක්‍ෂකයන් වහා ඔහු එතැනින් ඔසවා වාහනයට දමාගෙන රෝහලට රැගෙන ගොස් ඇත.
දින ගණන්, සති ගණන්, මාස ගණන් ගතවී වසර ගණනක් ගතවනතුරුත් නොමළ-මළාක් මෙන් කලක් සිහිසුන්වත්, අකර්මණ්‍යවත් මෙරටත් පිටරටත් රෝහල්ගතව සිටි දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාටත් ඔහුගේ ආරක්‍ෂකයන් සිවුදෙනාටත් එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විවිධ ආකාරයෙන් කරුණු එක් රැස් කොටගත් අතර 2015දී එම කරුණු පාදක කර ගනිමින් ඔවුන්ට එරෙහිව නඩු පැවරිණි. මෙය විශේෂ නඩු කටයුත්තක් සේ සලකා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාග කිරීමට නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමක් පිළිගත් අගවිනිසුරුවරයා ඒ සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කළ අතර, නීතිපතිවරයා විසින් පවරන ලද එම නඩුව විභාග කළ විනිසුරු මඬුල්ල 2016 අගෝස්තු මස 08 වැනි දින සිය තීන්දුව බෙදුණු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කළේය.
මහාධිකරණ තීන්දුව
ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන විනිසුරු (වත්මන් අභියාචනාධිකරණ විනිසුරු) ශිරාන් ගුණරත්න මහතා තනි තීන්දුවක් දෙමින් ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවන්ට එරෙහි කිසිදු චෝදනාවක් සැකයෙන් තොරව තහවුරු කිරීමට නීතිපතිවරයා අපොහොසත් වී ඇති හෙයින් විත්තිකරුවන් සියලුදෙනාම නිෙදාස් කොට නිදහස් කරන ලෙසය.
සෙසු විනිසුරුවරිය පද්මිණි රණවක මහත්මිය ඊට ප්‍රතිවිරුද්ධ තීන්දුවක් දෙමින් ප්‍රකාශ කර සිටියේ කිසිදු චෝදනාවක් සැකයෙන් තොරව තහවුරු කිරීමට ඉදිරිපත් වූ එකදු සාක්‍ෂියක් හෝ අපොහොසත්වී ඇතත්, නඩු විභාගයේදී අනාවරණය වූ හිඹුටාන වෙඩි තැබීමේ සිද්ධියට අමතරව තවත් ස්ථාන දෙකකදී එදිනම සිදුව ඇති සිද්ධීන් දෙකද සමඟ ගෙන බලන විට මෙම අපරාධ සිද්ධිය එකම සිද්ධි මාලාවකම කොටසක් බවට හැඟී යන හෙයින් විත්තිකරුවන් සියලු දෙනාම සියලුම චෝදනාවන්ට වරදකරුවන් බවට තීන්දු කරමින් සියලුම විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරන බවය.
අනෙක් විනිසුරුවරයා වූ එම්.සී.බී. මොරායස් මහතා තීන්දු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර ඔහු විනිසුරුවරිය විසින් ඉදිරිපත් කරන ලද තීන්දු පිටපතට අස්සන් යෙදීමත් සමඟම එය විනිශ්චය මණ්ඩලයේ බහුතර තීන්දුව බවට පත්විය.
බෙදුණු තීන්දුවක් වීම
ඒ අනුව 2ට 1ක් වශයෙන් බෙදුණු තීන්දුවෙහි බහුතරය වූ විනිසුරුවරියගේ තීන්දුව බලාත්මක විය.
තීන්දුවට එරෙහි අභියාචනය
එකී නඩු තීන්දුව පිළිනොගන්නා බවත් කිසිසේත්ම එම තීන්දුව ගැන සෑහීමට පත් නොවන හෙයින් ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කරන බවත් දුමින්ද සිල්වා ඇතුළුව සියලුම විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් එදිනම ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයට දන්වා සිටියහ.
ඒ අනුව ගොනු කරන ලද අභියාචනා මහාධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලදී.
අභියාචනාධිකරණයට බලයක් නොතිබීම
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් (Tria lat-Bar) විසින් දෙන ලද නඩු තීන්දුවක් හෙයින් අනෙකුත් මහාධිකරණ නඩු තීන්දු මෙන් ඊට එරෙහි අභියාචනා විභාග කිරීමට අභියාචනාධිකරණයට නීතිමය ප්‍රතිපාදන නොමැති වීම මත මෙම විශේෂ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලදී.
පංච පුද්ගල පූර්ණ විනිශ්චය මණ්ඩලය
එවැනි ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක නඩු තීන්දුවක් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී වුවද නීතිමය ප්‍රතිපාදන සැලසී ඇත්තේ "පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයකට" පමණක් වන හෙයින් මේ සඳහා අගවිනිසුරුවරයා විසින් තම ප්‍රධානත්වයෙන් වූ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත් කරනු ලැබීය.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විජිත් කේ. මලල්ගොඩ යන පංච පුද්ගල පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ එකී අභියාචනා ප්‍රථම වරට 2017 නොවැම්බර් මස 27 වැනි දින කැඳවා මූලික කරුණු තහවුරු කිරීම සඳහා නීතිපතිවරයාටත් පෙත්සම් පාර්ශ්වයටත් දින නියම කරනු ලැබීය.
අභියාචනා ඉවත දැමීමට නීතිපති ඉල්ලීම
ඒ අනුව මූලික කරුණු තහවුරු කිරීමේදී මෙම අභියාචනා විභාගයට නොගෙනම ඉවත දැමිය යුතු බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මඟින් නීතිපතිවරයා පංච පුද්ගල විනිසුරු මඬුල්ලෙන් කරන ලද ඉල්ලීම විනිසුරු මඬුල්ල විසින් ප්‍රතික්ෂේප කරමින් එකී පෙත්සම් විභාගය සඳහා දින නියම කරනු ලැබීය.
ඒ අනුව මාර්තු මස 26 හා 27, මැයි මස 08, 10, 14, 18, ජුනි මස 04, 06, 13, 18 ජූලි මස 18, 20 හා 25 යන දිනවලදී අභියාචනා විභාග (දිනය පුරාම) සිදු කෙරිණි.
මෙලෙස පුරා දින 04ක මූලික කරුණු විමර්ශනය හා තවත් පුරා දින 14ක් තරම් වූ දීර්ඝ පැය ගණනාවක් තුළදී සිදුවූ අභියාචනා විභාගයේදී ඉදිරිපත් වූ සැල කිරීම් තුළින් ප්‍රකාශ වූ කරුණු සම්භාරය අතරින් වඩාත්ම ඉස්මතුව පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ අවධාරණය වූ කරුණු කිහිපයක් පමණක් මෙලෙස පෙළගස්වමි.
ප්‍රථම වෙඩි පහරින් දුමින්ද මළ කඳක් මෙන් ඇදවැටුණු බව නීතිපතිද පිළිගනී
හිඹුටානේදී අහම්බෙන් මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේ හටගත් බහින්බස් වීමේදී භාරතගේ මුහුණට අත තබා ඉවතට තල්ලු කර දමා ආපසු හැරී යද්දී භාරතගේ ආරක්ෂක ගාමිණී නමැත්තා හිසටම තැබූ වෙඩි පහරවල් 2න් දුමින්ද සිල්වා මළ කඳක් මෙන් ඇදවැටුණු බවත් හිඹුටාන වෙඩි තැබීම ආරම්භ වූයේ එම සිද්ධියෙන් බවත් නීතිපතිවරයාද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ පිළිගැනීම මෙම නඩු විභාගයේදී සිදුවූ වඩාත් වැදගත් සිදුවීමක් විය.
ඛේදවාචකය ඇරඹෙන්නේ භාරත පාර්ශ්වය දුමින්දට වෙඩි තබා මරා දැමීමට තැත් කිරීම නිසයි
දුමින්ද සිල්වාගේ පාර්ශ්වයේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සිය අවසන් සාක්ෂි සම්පිණ්ඩනය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ ඉදිරිපත් කරමින් ඉකුත් බදාදා (25දා) පෙන්වා දුන්නේ මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය පමණක් නොව පැමිණිලි පාර්ශ්වය විසින්ද ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින්ද ප්‍රකාශ කිරීම අනුව නිරවුල්ව තහවුරු වී ඇත්තේ බහින්බස් වීමකින් පමණක් අවසන් වීමට ගිය සාමාන්‍ය සිදුවීමක් භාරත පාර්ශ්වය විසින් දුමින්ද සිල්වාට වෙඩි තබා මරා දැමීමට උත්සාහ කිරීමත් සමඟම ජීවිත ගණනාවක් බිලිගත් බරපතළ ඛේදවාචකයක් බවට පත්වූ බවය.
එකී කාරණා පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ තහවුරු කළ ජනාධිපති නීතිඥවරයා නීතිපතිවරයා නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ වෙතට හැරෙමින් විමසා සිටියේ "එම කරුණු ඔබ ප්‍රතික්ෂේප කරන්නේද?" යන්නය.
ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපති නියෝජනය වූ ඔහු කියා සිටියේ එසේ නොකරන බවය.
චෝදනාවක් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු විය යුතුව තිබියදී පරස්පරතා 62ක් ඇති සාක්ෂි මත යමකු වරදකරු කළ හැකිද?
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න පමණක් නොව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සහ ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ යන දෙදෙනාද පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ අවධාරණය කර සිටියේ මහාධිකරණ නඩු විභාගයේදී ඉදිරිපත්වූ සාක්ෂිකරුවන් 62කගේත් වෛද්‍ය වාර්තා හා සෙසු පරිවේෂණ සාක්ෂිද ඇතුළුව ඉදිරිපත් වූ සාක්ෂි 126කුත් අතුරින් දුමින්ද සිල්වා විසින් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තැබූ බවක් හෝ ඒ සඳහා කුමන්ත්‍රණය කළ බවක් හෝ සැලසුම් කළ බවක් හෝ ඔහු ඇතුළු ඔහුගේ ආරක්‍ෂකයන් ඒ සඳහා කුමන හෝ ක්‍රියාවකට සම්බන්ධ වූ බවට හෝ කරුණු අනාවරණය වී නොතිබියදීත් විනිසුරුවරිය මෙම විත්තිකරුවන් එකී චෝදනාවන්ට වරදකරුවන් යැයි තීරණය කළේ කුමන පදනමකින්දැයි වටහා ගන්නට එම තීන්දුව ලක්‍ෂ වාරයක් කියැවුවද කිසිවකුටත් සොයා ගත නොහැකි බවය.
මෙම නඩුවේ මහාධිකරණ විභාගයේදී දුමින්ද සිල්වාට වෙඩි වැදීමට පෙර භාරතට වෙඩි වැදුණු බවට 27 වැනි සාක්ෂිකරු වූ සංජීව ප්‍රසාද් නමැත්තා පමණක්ම ප්‍රකාශ කරන ලද බවත් ඔහු භාරතගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පොලඹවන ලදුව සිද්ධිය සිදුවූ දිනට දින 06කට පසුව ප්‍රථමවරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ නිලධාරියකු හට සිය නිවෙසේදී ප්‍රකාශයක් ලබා දී ඇති බවත් ඔහු එලෙස ගොතන ලද සාක්ෂියක් දීමට ඉදිරිපත්ව ඇත්තේ අනෙකක් නිසා නොව ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රේමචන්ද්‍ර පවුලත් සමඟම එකට ජීවත් වන මරණකරු ළඟ කලක් රැකියාවද කොට පසුව ඔහුගේ මාර්ගයෙන් වරාය අධිකාරියේ රැකියාවක්ද ලබාගත් දැනටද එම නිවෙසේ සෑම සියලු කටයුත්තකටම උදවු පදවු කරමින් ජීවත් වන්නකු බවත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා පෙත්සම් විභාගයේදී පංච පුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවේ කියා සිටියේය.
මහාධිකරණයේදී විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දී ගත නොහැකිව බොහෝ තැන්වලදී ඔහු නිහඬව සිටියේද එම විත්තිය ඉදිරිපත් කළ කරුණු කිසිවක් ප්‍රතික්‍ෂේප කිරීමට ඔහුට වූ නොහැකියාව නිසා බවද විනිසුරුවරිය සිය තීන්දුව දීමේදී අවධානය යොමු කොට ඇති ඔහුගේ සාක්ෂිය කිසිදු බරක් නොමැති මුළුමනින්ම නොසලකා හැරිය යුතු සාක්ෂියක් බව ඇය අමතක කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
නඩුවේ 3 වැනි සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන 2011.10.13 වැනි දින පිටුවහල් කරනු ලැබ ඇති බවත් එවැන්නකු ගුවන්තොටුපොළේදී ගුවන්තොටුපොළ බලධාරීන්ට භාර දීමේදී ගුවන් යානයේ කපිතාන්වරයා විසින්ම තමාම පැමිණ අදාළ ලියැකියවිලි හා එම පුද්ගලයාගේ ගමන් බලපත්‍රය පවා භාරදීම සිදුවන නමුත් අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් ඒ සිද්ධිය වටා අමුතුම මාදිලියේ අලුත් කතාවක් ප්‍රබන්ධ කරමින් කටුනායක 18 කණුව අසලදී එම සැකකරු අත්අඩංගුවට ගත් බවට කරුණු ගොනු කොට ඇති බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඔවුන් එසේ ක්‍රියා කොට ඇත්තේ මෙම ආරෝපිත චෝදනා ඔප්පු කිරීම සඳහා අවශ්‍ය වන ආයුධ ඔහු ළඟ තිබී සොයාගත් බවට කරුණු පෙළගැස්වීම සඳහා ඊට ගැළපෙන පරිදි තිර පිටපත සකසා ගැනීම සඳහා බවත් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් ලබාගත් තොරතුරු මත ඔහුගේ කුලියට දී ඇති නිවෙසේ උඩුමහලේ වතුර ටැංකියේ එක් ගිනි අවියකුත් එම නිවෙසේ කුස්සියට යාර කිහිපයකට එහා ලෑල්ලක් යට තිබී තවත් ගිනි අවියක්ද සොයා ගත් බවට කරුණු ඉදිරිපත් කරන ලද නමුදු අඩුම වශයෙන් එම නිවෙසේ කුලී නිවැසියකුවත් සාක්ෂි සඳහා කැඳවා නොතිබීමෙන්ම එයද අපරාධ පරීක්‍ෂණ නිලධාරීන්ගේ තවත් අපරාධ චෝදනා ගෙතීමක් බව පැහැදිලි වන බවද කියා සිටියේය.
කිසිදු අපරාධයක් විත්තිකරුවන් සිදුකර නැහැ
මේ සියලු කරුණු අනුව පැහැදිලි වන්නේ අදාළ සිදුවීමට මෙම විත්තිකරුවන්ගේ කිසිදු වගකීමක් නොමැති බවත් අහඹු සිදුවීමකදී භාරත පාර්ශ්වය සිදුකළ දුමින්ද සිල්වාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේදී දුමින්දගේ ආරක්‍ෂකයන් තම ප්‍රභූවරයාගේත් තම තමන්ගේ ස්වකීය ආරක්‍ෂාවත් උදෙසා සිදුකරන ලද ප්‍රති ප්‍රහාරවලදී භාරත ඇතුළු සිවුදෙනා මියගොස් ඇති බවත්ය.
එමෙන්ම අපරාධ සිද්ධියක් පිළිබඳ කිසිදු අරමුණක් හෝ අභිප්‍රායක් විත්තිකරුවන්ට නොවූ බවත් ආරෝපිත, ප්‍රබන්ධිත හිතා මතා ගොතන ලද සාක්‍ෂි දෙකකින් පමණක්ම එවැනි අදහසක් ඉදිරිපත්ව ඇති බවත්ය.
(මව්බිම පුවත්පතෙන් උපුටා ගැනීමකි – කමල් මහේන්ද්‍ර වීරරත්න)rn