Gossips

ගාමිණි සෙනරත්ගේ නඩුව ඔක්තෝම්බර් 30 සිට දිනපතා විභාග කෙරේ

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ සාක්ෂි විභාගය ලබන මස 30 වනදා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (28) තීරණය කළා.
පසුගිය 19 වනදා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් නියෝග කෙරුණේ අදාළ නඩුව ලබන මස 29 වනදා සිට විභාග කිරීමටයි.
එහෙත්, විත්තිකාර පාර්ශවය වන ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් සඳහන් කළේ සාක්ෂි විභාගයට අවශ්‍ය ලේඛණ කිහිපයක් ලිට්රෝ ගෑස් සමාගමෙන් සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමෙන් ලබා ගැනීමට අවශ්‍ය බවයි.
කරුණු සලකා බැලූ විශේෂ මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න, ඔවුන්ට අවශ්‍ය ලේඛන ගාස්තුවලට යටත්ව ලබාදීමට කටයුතු කරන ලෙස අදාළ ආයතනවලට නියෝග කළා.
එමෙන්ම, එම ලේඛණ ලැබී ඇත් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා මෙම නඩුව ලබන මස 08 වනදා කැඳවීමට ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
ඒ අනුව, මෙම නඩුව ලබන මස 30 වනදා සිට දිනපතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේදී විභාග කෙරෙනු ඇති.
ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.
මෙම නඩුව පසුගිය 12 වනදා මුල්වරට කැඳවූ අවස්ථාවේදී ගාමිණී සෙනරත් ඇතුලු සැකකරුවන්ට ඇප නියම වූ අතර විදෙස් ගමන් ද අත්හිටුවනු ලැබුවා.