Gossips

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමට සම්බන්ධ බ්ලූමැන්ඩල් සංඛගේ අනියම් බිරිඳ අල්ලයි

ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිටදී, ඊයේ පෙරවරුවේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ පාතාල නායකයෙකු වන බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර උතුර, නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරකට අනුව පමුණුගම ප්‍රදේශයේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
ඇය 45 හැවිරිදි කාන්තාවක් වන අතර, පොලිස් නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ බ්ලූමැන්ඩල් සංඛ නැමති පාතාල කල්ලි නායකයා ග්‍රෑන්ඩ්පාස් හිදී වෙඩි තැබූ අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් සහ ඔහුගේ ජංගම දුරකථනය පුළුස්සමින් සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.
බ්ලූමැන්ඩල් සංඛ මේ වනවිට පලාගොස් සැඟව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.
ඊයේ පෙරවරු 8 ට පමණ ග්‍රෑන්ඩ්පාස් – හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
වෙඩි වැදීමෙන් එක් අයෙකු මියගිය අතර ඔහු එම නිවාස සංකීර්ණයේ පදිංචි 32 හැවිරිදි දිනේෂ් එරංග නමැති ත්‍රිරෝද රථ රියදුරෙක්.
තවත් සිව්දෙනෙකු මෙහිදී තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන අතර, ඔහු ඊයේ ශල්‍යකර්මයකටද ලක් කර තිබුණා.
මේ අතර, තුවාලලැබූවන් අතර සිටි පාදයකට වෙඩි වැදුණු පුද්ගලයෙකු ඊයේ රෝහලෙන් පලාගොස් තිබූ බවයි වාර්තාවුණේ.
මේ අතර තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේදී පෙරේදා සිව් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 40 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තබා පුද්ගලයින් 54 දෙනෙකු ඝාතනය කර ඇති බවද වාර්තාවුණා.