Gossips

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ වාර්තාව පොලීසියට

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි කුළු බඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලක් කඩා වැටීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාව අද (16) දිනයේ පොලීසියට භාර දෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එහි ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්‍ෂිකා කුමුදුනී ජයවර්ධන කියා සිටියේ එම ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලෙහි කොන්ත්‍රාත්කරු විසින් අදාළ ගොඩනැගිල්ල ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ නිසි ආරක්ෂක ක්‍රමවේද භාවිතා කිරීමකින් තොරව බවට මෙහිදී නිරීක්ෂණය වූ බවයි.
පෙරේදා දිනයේ සිදුවූ මෙම අනතුරින් එම ස්ථානයේ සේවය කළ 9 දෙනෙකු බරපතල තුවාල ලැබු අතර, ඉන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඔවුන් අතර, අදාළ කුළුබඩු අපනයන කිරීමේ සමාගමේ හිමිකරු ද සිටියා.
ඔහු ඇතුළු මියගිය සියලූදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(15) සිදුකෙරුණු අතර එහිදී මෙම ව්‍යාපාරයේ හිමිකරුගේ ඥාති දියණියක් සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ අනතුරෙන් මියගිය තම බාප්පාගේ මරණය පිළිබඳව සැක සහිත බවයි.
මුදල් වංචාවක් සම්බන්ධයෙන් පවතින ගැටලූවක් ඊට හේතුව ලෙස ඇය කියා සිටියේ.
සිද්ධියට අදාළව ඊයේ (15) දිනයේදී යාබද ගොඩනැගිල්ල ඉවත් කිරීමේ කටයුතු සිදුකළ කොන්ත්‍රාත් සමාගමේ නිලධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය ප්‍රකාශ කළා.
ඒ අනුව, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.