කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කඩාවැටුණු ගොඩනැගිල්ල, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(15) පෙරවරුවේ පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.
එහිදී සිදුකළ මූලික නිරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ කුළුබඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලට අසළ පිහිටි කඩා ඉවත් කරන ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
නිසි ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකර එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂිකා කුමුදුනී ජයවර්ධන කියා සිටියේ.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒ අනුව අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් පුද්ගලයාගෙන් අද පෙරවරුවේ පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදෙන වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
අදාළ ගොඩනැගිල්ල ඊයේ කඩාවැටීම හේතුවෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී 12 දෙනෙකු එහි සේවයේ නිරතව සිට ඇති අතර, තුන් දෙනෙකු දිවි ගලවාගෙන තිබුණා. තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.