Gossips

ග්ලයිෆොසේට් කමිටු වාර්තාව ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩලයට

ග්ලයිෆොසේට් වල්නාශකය ආනයනයට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුද යන්න පිළිබඳ කමිටු නිර්දේශ ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ පාර්ලිමේන්තු පනතකින් සම්මත වී ඇති පලිබෝධනාශක පිළිබඳ විද්වත් කමිටු වාර්තාව මේ වනවිට තමන් වෙත ලැබී ඇති බවයි.
වත්මන් රජය 2015 වසරේදී ගල්යිෆොසේට් වල් නාශකය භාවිතය තහනම් කිරීමට තීරණය කරනු ලැබුවේ එවකට උතුරුමැද පළාත ඇතුලූ ප්‍රදේශ කිහිපයක දරුණු ලෙස පැතිර යමින් තිබූ වකුගඩු රෝගයද සැළකිල්ලට ගනිමින්.
කෙසේ වෙතත් පසුගිය සති කිහිපය වනවිට ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීම පිළිබඳව රජයේ විවිධ පාර්ශව අදහස් පළ කර තිබුණා.
තේ වගාව ආශ්‍රිතව ග්ලයිෆොසේට් භාවිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක අදහස් පළ කළ අතර, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකද මේ පිළිබඳ අදහස් පළ කළා.
එම අදහස් දැක්වීමත් සමග ග්ලයිෆොසේට් තහනම ඉවත් නොකළ යුතුු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවස්ථා කිහිපයකදී දැඩි ස්ථාවරයක සිට අදහස් පළ කර තිබුණා.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදීද අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ආණ්ඩුව කිසිදු ලෙසකින් ග්ලයිෆොසේට් තහනම ඉවත් නොකළ යුතු බවයි.
කෙසේ නමුත් ග්ලයිෆොසේට් තහනම සහ වකුගඩු රෝගය අතර ඍජු සම්බන්ධතාවක් පවතින්නේද යන්න පිළිබඳ විද්වත් කමිටුවේ නිර්දේශය ඒ සඳහා තීරණාත්මක වනු ඇති.
එවැනි පසුබිමක් තුළ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික ආර්ථික සභාවේදී ග්ලයිෆොසේට් තහනම පිළිබඳ අවධානය යොමුවූ අතර එහිදී තීරණය කරනු ලැබුවේ පලිබෝධනාශක පිළිබඳ විද්වත් කමිටුවේ වාර්තාවක් කැදවීමටයි.
ඒ අනුව සකස් කළ වාර්තාවයි ඉදිරි සතියේ මෙලෙස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.