Gossips

ගළහ සිද්ධිය දුරදිග යයි

මහනුවර – ගළහ ප්‍රාදේශීය රෝහලේ ආරක්ෂාව තහවුරු කරන තුරු වෛද්‍යවරයෙකු අනුයුක්ත නොකරන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
එහි උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඊයේ ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අවුරුදු එක හමාරක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙකු මිය යාමේ සිද්ධියත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා.
මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කෙරුණේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේයි.
එහිදී විවෘත තීන්දුවක් ලබා දෙමින් ශරිර කොටස් පරික්ෂණයක් සඳහා යොමු කළා.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එසේම මෙම නොසන්සුන්කාරි තත්ත්වයෙන් පසු එහි සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය අද සේවයට වාර්තා කර තිබුණේ නැහැ.
ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව මධ්‍යයේ පිටතට පැමිණීමට නොහැකිව සිටි රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා පොලීසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර ගනු ලැබුවේ පොලිස් නිළ ඇඳුමක් උපයෝගී කර ගනිමින්.
තවදුරටත්, ආරක්ෂාව සදහා රෝහල අවට පොලීසිය යොදවා ඇති අතර, ගලහ නගරයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා.