Gossips

ගලේවෙල නිවසක් තුළ අඹුසැමි යුවලක් ඝාතනය කෙරේ

ගලේවෙල – දේවහූව – එකේ ඇල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කරන ලද අඹුසැමි යුවලකගේ මළ සිරුරු පොලිසිය සොයාගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකු සහ 52 හැවිරිදි ඔහුගේ බිරිඳයි.
ඉඩම් ආරවුලක් මත මෙම ඝාතන සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
අසල්වාසීන් සිදුකළ දැනුම්දීමකට අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර, ඒ වනවිටත් අඹුසැමි යුවල කැපුම් තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව සිටි බව ගලේවෙල පොලිසිය ප්‍රකාශ කළා.
උදාවූ සිංහල – දෙමළ අලූත් අවුරුද්දත් සමඟ තවත් ප්‍රදේශ කිහිපයකින් පුද්ගල ඝාතන 4 ක් වාර්තා වූ අතර තවත් එවැනිම ඝාතනයක් වාර්තා වූයේ මහඔය ප්‍රදේශයෙන්.
පොලීසිය සඳහන් කළේ මහඔය – පූලාවල විද්‍යාලය අසලදී දෙපිරිසක් අතර, ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහඔය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.
පහරදීම සම්බන්ධයෙන් එකම පවුලේ කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු තවත් පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, රත්නපුර – නිවිතිගල – උඩදෙල්වල ප්‍රදේශයේදී පියෙකුට සහ පුත්‍රයෙකුට පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකුට චෝදනා එල්ල වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.