පෞද්ගලික බස් රථයකට පහරදුන් ගල්ගමුව ශ්රී ලංගම ඩිපෝ අධිකාරීවරයා ඇතුළු තවත් සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ගල්ගමුව ඩිපෝ සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් එම ඩිපෝවෙන් ධාවනය වන ලංගම බස් රථ 45 ක පමණ ධාවන කටයුතු අඩාල වී ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
ගල්ගමුවේ සිට බුදුරුවකන්ද හරහා ඉහළ මරදන්කල්ල මාර්ගයේ ධාවනයට යොදවා ඇති පෞද්ගලික බස් රථයකට විරෝධය පළ කරමින් ඊයේ ගල්ගමුව ඩිපෝවේ අධිකාරිවරයා සහ තවත් සේවකයින් දෙදෙනෙකු පෞද්ගලික බස් රථයේ රියදුරා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී තිබුණා.
ඒ නියමිත කාල සටහන උල්ලංඝනය කර අදාළ බස් රථය ධාවනය කරන බව පවසමින්.
සිය රාජකාරි වේලාව තුළ ලංගම ඩිපෝවට අයත් වෑන් රථයකින් පැමිණ සිදුකළ එම පහරදීමෙන් පෞද්ගලික බස් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් මගීන් දෙදෙනෙකු තුවාල ලබා ඇතුළත් කෙරුණේ ගල්ගමුව මූලික රෝහලටයි.
කෙසේ වෙතත්, ගල්ගමුව ඩිපෝවේ සේවකයින් පවසන්නේ පෞද්ගලික බස් රථ රියදුරුගේ පාර්ශවයෙන් ද ඩිපෝ අධිකාරිවරයාට ප්රහාරයක් එල්ල වී ඇති බවයි.