Gossips

ගලහ රෝහලට යෑම වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

මහනුවර – ගලහ ප්‍රාදේශීය රෝහලේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම නොසන්සුන්කාරි තත්ත්වයෙන් පසු එහි සේවය කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය අද දිනයේ සේවයට වාර්තා කර නැහැ.
හිරු වාර්තාකරු සඳහන් කළේ මේ හේතුවෙන් රෝගීන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ඇති බවයි.
ඊයේ ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අවුරුදු එක හමාරක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙකු මිය යාමේ සිද්ධියත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත් අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ඊයේ පස්වරුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.
රාත්‍රී 8 පමණ වන තුරුත් එම පිරිස රෝහල් භූමියේ කලහකාරී ලෙස හැසිරී ඇති අතර, පසුව රෝහලට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ්.
මේ අතර, ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව මධ්‍යයේ පිටතට පැමිණීමට නොහැකිව සිටි රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා පොලීසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර ගනු ලැබුවේ පොලිස් නිළ ඇඳුමක් උපයෝගී කර ගනිමින්.
තවදුරටත්, ආරක්ෂාව සඳහා රෝහල අවට පොලීසිය යොදවා ඇති අතර, ගලහ නගරයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා.
මිය ගිය දරුවාගේ මෘත ශරීරය මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.