Gossips

ගලහ උණුසුම පාලනය කෙරේ – පොලිස් ඇඳුමෙන් වෛද්‍යවරයා මුදා ගනී

මහනුවර – ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවෙකු මියයාමත් සමඟ එම රෝහල් භූමියේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කර තිබෙනවා.
කලහකාරී ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරීමට පොලීසිය ඊයේ (28) කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.
කෙසේ වෙතත්, ඊයේ (29) රාත්‍රී 8 පමණ වන තුරු එම පිරිස රෝහල් භූමියේ කලහකාරී ලෙස හැසිරී ඇති අතර, පසුව රෝහලට ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව මධ්‍යයේ පිටතට පැමිණීමට නොහැකිව සිටි රෝහල් ස්ථාන භාර වෛද්‍යවරයා පොලීසිය විසින් එම ස්ථානයෙන් ඉවත් කර ගනු ලැබුවේ පොලිස් නිළ ඇඳුමක් උපයෝගී කර ගනිමින්.
සෙම් රෝගයක් හේතුවෙන් සංකර් සචී නැමැති කුඩා දරුවා ඔහුගේ දෙමව්පියන් විසින් රෝහලට ඇතුළත් කර තිබූ නමුත්, රෝහලේ වෛද්‍යවරුන් මෙම දරුවා පරීක්ෂා නොකළ බවටයි ඥාතීන් චෝදනා කළේ. පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන යන අතරතුර එම දරුවා මියගොස් තිබුණා.
මේ අතර, මෙම කුඩා දරුවා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ශාන්ති සමරසිංහ කියා සිටියේ.
විරෝධතාකරුවන් රෝහලට සිදුකළ අලාභහානි සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බව ගලහ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.