Gossips

ගමන් වාර කිහිපයකට වෘත්තීය සමිති එකග වෙයි – දැනට දුම්රියේ පාඩුව මිලියන 100 යි

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනයෙන් රුපියල් මිලියන 100 ක පමණ අලාභයක් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මේ බව කියා සිටියා.
මේ අතර, දුම්රිය වෘත්තීය සමිති සදහන් කළේ අද පස්වරුවේ සිට පාලනාධිකාරියේ ඉල්ලීම පරිදි දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව, අද පස්වරුවේ වේයන්ගොඩ සිට මොරටුව බලා දුම්රියක් ධාවනය වූ අතර, හෙට පෙරවරු 6 යි 35 ට මහනුවරින් ද දුම්රියක් කොළඹ කොටුව බලා ධාවනය වනු ඇති.
මාතර සිට පැමිණෙන රුහුණු කුමාරි දුම්රිය ද නියමිත වේලාවට ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර හලාවතින් අලූයම 5ට පානදුර බලා දුම්රියක් ධාවනය වීමට නියමිතයි.
එසේම අද පස්වරුවේ වෙනත් දුම්රිය ධාවනය නොවන බව කොළඹ කොටුව දුම්රිය ස්ථානය නිවේදනය කළ බව එහි සිටින අප වාර්තාකරුවන් සදහන් කළා.
දුම්රිය වර්ජනය අද 4 වන දිනටත් ක්‍රියාත්මක කර තිබියදී දුම්රිය සහයක එන්ජින් රියදුරන් කොළඹ මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ දුම්රිය ධාවනය කිරීමට තමන් සූදානම්ව සිටියදී ගැටලූව විසදීමට විෂය භාර අමාත්‍යවරයා මැදිහත් නොවන බවයි.
වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා අනුමත කර තිබූ කැබිනට් පත්‍රිකාව අත්හිටුවීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ මෙම වර්ජනය සම්බන්ධයෙන් රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ වර්ජනය නවතා සාකච්ඡා සදහා පැමිණෙන ලෙසයි.
එමෙන්ම, දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් අදත් උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් සහ සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා යන ජනතාව දැඩි අපහසුතාවයකට පත්වුණා.