Gossips

ගත වූ පැය 24 උතුරට මිලිමීටර් 150ක තද වැසි

ගත වූ පැය 24 තුළ උතුරු පළාතට මිලිමීටර් 150කට ආසන්න තද වැසි පතිත වී තිබෙනවා.
මේ හේතුවෙන් මුලතිව් සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ජලාශවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර, මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බව සඳහන්.
මුලතිව් හි පිහිටි නිත්‍යකේක්කුලම් වැව් බැම්ම ඊයේ රාත්‍රියේ කැඞී ගොස් තිබුණා.
මේ හේතුවෙන් අවට පහත් බිමක සිට ගොවීන් 6 දෙනෙකු කොටු වී සිටි අතර, ඔවුන් බේරා ගනු ලැබුවේ එම්.අයි. 17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින්.
මේ අතර, අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගෙඟ් ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතිනවා.
අකුරැස්ස – පානදුගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා අතුරු මාර්ග කිහිපයක් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
පොළොන්නරුව – සුංගාවිල සහ මනම්පිටිය – සෝමාවතිය යන මාර්ගද තවදුරටත් ජලයෙන් යට වී තිබෙනවා.
යාන්ඔය, මාඔය, අත්තනගලූඔය යන ජලාශවල ද ජල මට්ටම් තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.
එමෙන්ම නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාව අධික වැසි සමඟ ඇති විය හැකි නාය යාම් පිළිබදව අවදානයෙන් පසුවිය යුතු බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය 48න් පසු අඩු විය හැකි අතර, අන්තර් මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් මේ මාසය අවසන් වන තුරුත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ.