Gossips

ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන තුනක්

මුන්දලම – මංගලඑළිය – හේන්යාය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් අද අලූයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සිද්ධියෙන් මියගියේ 37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
වෙඩි තැබීම සිදුකළ සැකකරු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පොලීසිය පසුව අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර දෙණියාය – අඹගහහේන ප්‍රදේශයේ දී පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහුගේ බිරිඳද තුවාල ලබා මොරවක රෝහලට ඇතුළත් කෙරුණා.
මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේ පදිංචි අයෙකු විසින් බීමතින් පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
මේ අතර සීදූව – අම්බලන්මුල්ල – සියඹලාගහවත්ත ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතුරතුර ඇතිවූ ගැටුමකින් පසු පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය සිදුකළ බවට සැකකරන පුද්ගලයා එම අවස්ථාවේ බීමතින් සිට ඇති අතර, ඔහුද අදාළ නිවස අසල තිබූ ළිඳකට වැටී ඇති බවයි පොලීසිය කියා සිටියේ.
අනතුරුව පොලීසිය ඔහු අද අලූයම අත්අඩංගුවට ගෙන ඇති අතර, අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.