Gossips

ගතවූ පැය 24 තුළ අනතුරුවලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

ගතවූ පැය 24 තුළ දිවයිනේ ස්ථාන කිහිපයකින් වාර්තා වූ අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරුවලින් තුවාල ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 20 ක්.
පෑලියගොඩ – වනවාසල දුම්රිය ස්ථානයට ආසන්න හැම්සන් ටවුන් ප්‍රදේශයේ ඇති දුම්රිය හරස්මාර්ගයේ දී ආලෝක සංඥා නොතකා ධාවනය කල ත්‍රීරෝද රථයක් අද (26)උදෑසන 5.50 ට පමණ මන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ත්‍රීරෝද රථයේ රියදුරු මියගියා.
මෙලෙස මියගොස් ඇත්තේ හැවිරිදි හැටන් – බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි මොහාන් දාස් ප්‍රභාකරන් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර විනෝද චාරිකාවක් සදහා නුවරඑළිය නගරයට ගොස් නැවත කදුරුවෙළට පැමිණෙමින් සිටි වෑන් රථයක් රියදුරුට නින්ද යෑමෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන මින්නේරිය – හබරණ ප්‍රධාන මාර්ගයේ 49 බෝක්කුව ආසන්නයේදී අද අළුයම අනතුරට ලක්වුණා.
අනතුරින් වෑන් රථයේ ගමන්කල මුස්ලිම් කොළනිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මියගොස් තවත් සිවු දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත්කර තිබෙනවා.
රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ කොස්වැටිය පන්සල අසලදී කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස්රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කල පුද්ගලයන් දෙදෙනා මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අඟුණුකොළපැලැස්ස – අවාරිගම පදිංචි නාලක ඉරෝෂන් නැමැති 32 හැවිරිදි පුද්ගලයෙක් හා ගාල්ල – නෙළුව – කඩහින්ගල ප්‍රදේශයේ පදිංචි ශිවකුමාර් රාජ්න්ද්‍ර නැමැති 19 හැවිරිදි පුද්ගලයෙක්.
මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ කින්නියා – තෝනා ප්‍රදේශයේදී අද පෙරවරු 10 ට පමණ මාර්ගය පසෙකින් ගමන්කළ වයස අවුරුදු 9 ක කුඩා පිරිමි දරුවෙකු යතුරු පැදියක ගැටී ජීවිතක්ෂයට පත්වුණා.
බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ ගල්කඩේ හංදියේදී ඊයේ (25) පස්වරුවේ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලැබුවා.
තුවාලකරුවන් ප්‍රතිකාර සදහා පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
හලාවත – ආණමඩුව මාර්ගයේ වෙහෙරකැළේ ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුවේ සිට හලාවත දක්වා මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසට ලක්වූ තවත් ලොරි රථයක්.
මේ අතර ඊයේ (25) පස්වරුවේ හලාවත – කුරුණෑගල මාර්ගයේ ගිරිතලාන මංසන්ධියේදී ත්‍රීරෝද රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ කාන්තාවක් හා එහි රියදුරු බරපතල තුවාල ලබා කුරුණෑගල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මේ අතර වව්නියාව – කනගරායන්කුලම් – පුදුපාලන්කුලම් ප්‍රදේශයේදී අද (26) අළුයම 4.45 ට පමණ රියදුරුට නින්දයෑම හේතුවෙන් ලොරි රථයක් 220 කිලෝමීටර් කණුව අසල ඇති පාලමේ ආරක්ෂිත බැම්මද කඩාගෙන ගොස් ඇලට පෙරලී තිබෙනවා.
අනතුරින් ලොරි රථයේ හිමිකරු හා රියදුරු බරපතල තුවාල ලබා වව්නියාව මහරෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.