Gossips

ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දුර අඩුවෙයි

මෙවර පළාත්පාලන මැතිවරණයේදී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට ජනතාවට රැදී සිටිය හැකි දුර ප්‍රමාණය මීටර 400 දක්වා අඩු කර තිබෙනවා.
එය පසුගිය මැතිවරණවලදී සඳහන් කර තිබුණේ මීටර 500 ක් ලෙසයි.
එමෙන්ම පළාත් පාලන ආයතන 340 ක් සඳහා ලබන 10 වනදා පැවැත්වෙන මැතිවරණයේ සියලු ප්‍රචාරක කටයුතු 7 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පොලිස් මූලස්ථානය වෙත මේ දක්වා මැතිවරණ පැමිණිලි 576ක් ලැබී තිබෙනවා.
ඊට මැතිවරණ පැමිණිලි 435ක් සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් 141ක් ඇතුළත්.
මැතිවරණ පැමිණිලිවලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 91ක් වනවා.
ඒ අතර අපේක්ෂකයින් 17 දෙනෙකු සිටින බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
මැතිවරණ නීති උල්ලංගණය කිරීම්වලට අදාළව අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 282ක්. ඊට අපේක්ෂකයින් 25 දෙනෙකු ඇතුළත් වනවා.
මේ අතර, පළාත් පාලන මැතිවරණයේ නිළ ඡන්ද පත්‍රිකා බෙදා හැරීම් කටයුතු මේ වන විට සියයට 82ක් පමණ බෙදා හැර අවසන් බව තැපැල්පති රෝහණ අබේරත්න ප්‍රකාශ කළා.