Gossips

ගංගා සංරක්ෂණයට විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනපති කියයි

ගංගා සංරක්ෂණය පිළිබඳ විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව කඩිනමින් මතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඉවුරු ඛාදනය හේතුවෙන් ගංගා පද්ධතිය දැඩි අභියෝගයකට ලක්ව ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ලෝක බැංකු නියෝජිත පිරිසක් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේ ගංගා සංරක්ෂණය සඳහා වගකිව යුතු ආයතනයක් නොමැතිවීම හේතුවෙන් මහවැලි ගංගාව මෙන්ම සෙසු ගංගා ද දැඩි අභියෝගයකට ලක්ව ඇති බවයි.
ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ද ඔහු අවධාරණය කළා.
ගෝලීය උෂ්ණත්වය සමග සිදුව ඇති කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ ලොව අන් රටවලට මෙන්ම ලංකාවට ද මුහුණදීමට සිදුව ඇති අභියෝග පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.
එමෙන්ම නියගය සහ ගංවතුර ශ්‍රී ලංකාවට අලුත් අත්දැකීමක් නොවුන ද පසුගිය වසර කිහිපය තුල තරම් පීඩාකාරී තත්වයකට මීට පෙර මුහුණදීමට සිදු නොවු බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියාසිටියේ.
මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
‘‘සෞඛ්‍ය සේවය මානව අයිතියකි’’ යන තේමාව යටතේ පැවති මෙම උත්සවය සදහා හෙද හෙදියන් 2500 කට වැඩි පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මේ අතර, මහවැලි සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු වීරකුමාර දිසානායක අද සිය අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කළ අතර, එම අවස්ථාවට ද ජනාධිපතිවරයා එක්වුණා.