Gossips

ඛනිජතෙල් සංස්ථාවේ සිද්ධිය ගැන පොලීසිය 15කගෙන් ප්‍රකාශ ගනී

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් සේවකයෙකු මියයාමේ සිද්ධියට අදාළව පොලීසිය පුද්ගලයන් 15 දෙනෙකුගෙන් පමණ සටහන් කරගෙන තිබෙනවා.
මේ අතර සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සිය ආරක්ෂකයන් සමඟ පෙරේදා පස්වරුවේ එම අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්තාව අතරතුර හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයෙකු සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කළා.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණේ උඩුනුවර – ගෙළිඔය ප්‍රදේශයේ පදිංචි රංගන පුෂ්පකුමාර රාජපක්ෂ නැමති ඛනිජතෙල් සේවකයෙක්.
ඔහුගේ දේහය ඊයේ රාත්‍රියේ නිවසට රැගෙන ආවා. වෙඩි තැබීම සිදුකළ හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් අතර, හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගත්තේ ඊයේ පස්වරුවේයි.
පසුව අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදාහැරුණු අතර, ආරක්ෂක නිලධාරියා ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මේ අතර ඊයේ හිරු ටී.වී. සළකුණ දේශපාලන සංවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ එම සිද්ධිය පිළිබඳව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී එහි බැරෑරුම්කම අඩුකොට වාර්තාකර ඇති බවයි.