Gossips

කෝප් වාර්තාවෙන් කරුණු රැසක් හෙළිවෙයි

අධික ලෙස පාඩු ලබමින් පවතින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රුපියල් මිලියනයකට වඩා වැටුප් ලබන නිලධාරීන් 190 දෙනෙකු මේ වනවිට සේවය කරන බව පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් වාර්තා මගින් හෙලිදරව් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, වයස් ප්‍රමාණ, පැවරී ඇති කාර්යයන් පිළිබඳව වාර්තාවක් කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කර තිබුණද ඒවා ලබාදී නොමැති බවයි.
එසේම 2013 වසරේ මාර්තු 27 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව ඒ-350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලදී ගැනීම පිළිබඳවද කෝප් වාර්තාවෙන් කරුණු අනාවරණය කර තිබෙනවා.
මතභේදයට තුඩු දී ඇති එම යානා මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් හිමි වී නොමැති අතර, අදාළ සංදේශයට එවක මුදල් අමාත්‍යවරයා අත්සන් තබා ඇති බවයි හෙලි වී ඇත්තේ.
මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ගුවන් සමාගම වෙත පවරා නොමැති බවද එහි සඳහන්.
එලෙස මිලදීගත් ගුවන් යානා අටෙන් හතරක මූල්‍ය කල්බදු ගිවිසුම පසුව අවලංගු කිරීම නිසා ගුවන් සමාගම විසින් රුපියල් මිලියන 16,924 ක් වන්දි ලෙස ගෙවා ඇති බවද කෝප් විමර්ශනයේදී හෙලි වී තිබෙනවා.
කෙසේ වෙතත්, 2017 අගෝස්තු 15 වැනිදා ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බවට ගුවන් සමාගමේ සභාපතිවරයා කෝප් කමිටුවට සඳහන් කර ඇති නමුත්, විමර්ශනයේදී හෙලි වී ඇත්තේ අදාළ මුදල් ගෙවා අවසන් කිරීමෙන් පසු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවයි.
අදාළ ගෙවීම් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් අනුමත කර නොමැති අතර, ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ පමණක් බවද අනාවරණ වී තිබෙනවා.
මේ අතර, ගිවිසුම අවසන් කිරීමේ සාකච්ඡා සඳහා එවකට මුදල් අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වූ ආචාර්ය රාජන් සරා සහභාගි වීම පිළිබඳවද කාරක සභාවේදී අවධානය යොමු වුණා.
මේ සඳහා මුදල් අමාත්‍යාංශය සහ ආයතනය පමණක් සහභාගි වී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ඒ සඳහා සහභාගි නොවීම ගැටළු සහගත බවයි කෝප් කමිටුව දැනුම් දී ඇත්තේ.
මෙහිදී කෝප් කමිටුව, රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත්තේ රාජන් සරා, මුදල් අමාත්‍යාංශයේ හිටපු උපදේශකයෙකුද, එවකට සිටි මුදල් අමාත්‍යවරයාගේ උපදේශකයෙකුද යන්න පිළිබඳව කෝප් කමිටුවට වාර්තා කරන ලෙසයි.
පසුව ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ආචාර්ය රාජන් සරා එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායකගේ මූල්‍ය කළමනාකරණ හා විදේශ ආයෝජන කළමනාකරණ උපදේශකයෙකු බව සඳහන් කර ඇති බවයි කෝප් වාර්තාවේ දැක්වෙන්නේ.
එම තනතුරට අමතරව ගරු සේවයක් ලෙස කාර්ය සාධන කාර්යක්ෂමතා ඒකකයේ ප්‍රධානී තනතුරේද සේවය කර ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දුන් බව කෝප් වාර්තාවේ සඳහන්.
කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ අටවන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරයට අදාළ කෝප් කමිටුවේ පළමු වාර්තාවයි.
2017 වසරේ ජූලි 1 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව වී අලෙවි මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 17 ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවට ඇතුළත්.