Gossips

කෝටි 700 කොල්ලයේ මැණික් මධුෂ් අතට – කාන්තාවක් ඇතුළු 03 දෙනෙකුත් සොයයි

පන්නිපිටිය – ඇරැව්වල ප්‍රදේශයේදී රුපියල් කෝටි 500ක් පමණ වටිනාකමකින් යුත් නිල් දියමන්තිය කොල්ල කෑමේ සිද්ධියට කාන්තාවක් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 5 වන දා රාත්‍රියේ කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මොවුන් පිළිබද තොරතුරු අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනීමට සිටින මොරටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාව මෙම සැකකරුගේ අනියම් බිරිඳ වනවා.
එමෙන්ම ඔහු සතුව තිබූ පිස්තෝල දෙකක් සොයා ද පොලීසිය මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මොහු අත්අඩංගුවට ගැනීමත් සමඟ පාතාල ක්‍රියාකාරකම්වල නිරතවූ බොහෝ පිරිස් බියට පත්ව ඇති බවට පොලිස් බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වී ඇති බවයි.
මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම සමීපතමයෙකු වන කැවුමා විසින් ඔහුගේ සියලුම අපරාධ ක්‍රියාවන් මෙහෙයවා ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා.
දියමන්තිය හිමි ව්‍යාපාරිකයාට එය හමුවී ඇත්තේ 1996 වසරේදී ඩුබායි හිදියි.
පසුව එය මෙරටට රැගෙනවිත් අලෙවි කිරීම සඳහා කටයුතු කරමින් සිටි බවයි එම ව්‍යාපාරිකයා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර එම දියමන්තිය පරීක්ෂා කිරීමට මාකඳුරේ මධුෂ් සිය නිවසට පැමිණි බව ද එම ව්‍යාපාරිකයා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුවයි පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ දී මැණික් ව්‍යාපාරිකයෙකු බව හගවමින් දියමන්තිය මිලදී ගැනීමේ මුවාවෙන් කැලුම් ඉන්දික හෙවත් කැවුමා, ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ඇත්තේ.
එම හමුවේදී මැණික් ව්‍යාපාරිකයා තමන් සතුව ද තවත් මැණික් කිහිපයක් පවතින බවට ඔහුට ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුවයි අදාළ කොල්ලය මධුෂ්ගේ සැලසුමකට අනුව පසුගිය වසරේ නොවැම්බර් 5 වන දා සිදුකරනු ලබන්නේ.
එක් කණ්ඩායමක් පිළියන්දල ප්‍රදේශයේදී පොලිස් ඇදුමෙන් සැරසී දියමන්තිය සහ මැණික් පැහැරගෙනවිත් කැවුමාට ලබාදී තිබෙනවා.
පසුව කොල්ලකන ලද රුපියල් කෝටි 200ක මැණික් ගල් කිහිපය මධුෂ්ට ලබාදුන් බව කැවුමාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ බවයි පොලීසිය සදහන් කළේ.
මේ අතර, අත්අඩංගුවට ගෙන සිටින කොල්ලයට සම්බන්ධ ප්‍රධාන සැකකරු කුලියට ගෙන තිබූ නිවාස දෙකක තිබී ජීව උණ්ඩ 647ක්, ජංගම දුරකථන 126ක්, අත්විලංගු 3ක්, රන් පවුම් 40 ක් සහ පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් පෙරේදා සොයා ගනු ලැබුවා.