Gossips

කෝටි 4ක බීඩි කොළ වංචාවේ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

ටොන් 12 ක බීඩි කොළ කන්ටේනරයක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි සැකකරු ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරු වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමේද ප්‍රධාන සැකකරුවෙකු වනවා. අදාළ බීඩි කොළ කන්ටේනරය පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනිදා මෙරටට ආනයනය කර තිබෙනවා.
ටොන් 12 ක බීඩි කොළ සහිත මෙම කන්ටේනරය බදු වංචා කරමින් රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ සැකකරු කටයුතු කර ඇති අතර, ඉන් රටට අහිමිව ගිය බදු ආදායම පමණක් රුපියල් කෝටි 04 ක්.
කෙසේ වෙතත්, සැකකාර නූර්දීන් ෆසාල් අහමඞ් නැමැත්තා පසුගිය දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි කටයුතු කළේ.