Gossips

කෝටි හත්සීයේ මැණික් කොල්ලයේ, දුරකතනයක් රස පරීක්ෂකට

ඩුබායි හි දැනට අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙහෙයවූ බවට පැවසෙන රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පළමු සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ පාදුක්කේදී අත්අඩංගුවට ගත් ඔරුවල – අතුරුගිරියේ පදිංචි රවීන්ද්‍ර නාලක රණසිංහ හෙවත් ලොකු අයියා ලෙස හඳුන්වන මෙම සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වූ බවයි.
ඒ අනුව අධිකරණ නියෝගයක් මත එම ජංගම දුරකථනය රජයේ රස පරික්ෂක වෙත යොමු කළ බවද ඔහු ප්‍රකාශ කළා.
එමෙන්ම කොල්ලකෑමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන 31 හැවිරිදි කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නැමැත්තා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් සැකකරු ඊයේ උදෑසන අත්අඩංගුවට ගත්තේ වත්තල – වෙඩිකන්ද ප්‍රදේශයේදියි.
පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා පොලිස් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක තිබූ මෙම මැණික් සහ දියමන්තිය කොල්ලකා තිබුණා.
රුපියල් කෝටි 500 ක් වටිනා දියමන්තියක් සහ රුපියල් කෝටි 200 ක් වටිනා මැණික් මෙලෙස කොල්ල කා තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.