Gossips

කෝටි දෙකක රත්‍රං ගුවන් තොටුපළේ – එක් කෝටි තිස් ලක්ෂයක එතනෝල් ජාඇලින් අල්ලයි (ඡායාරූප)

රුපියල් එක්කෝටි තිස් ලක්ෂයක් වටිනා එතනෝල් අඩංගු බැරල් 50ක් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු ජාඇල – වැලිගම්පිටියේදී ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුරාබදු නිලධාරීන් සිදුකරන ලද මෙම වැටලීමේදී අනාවරණ වී ඇත්තේ රේගුව මගින් රාජසන්තක කරන ලද එතනෝල් තොග මිලදී ගන්නා ව්‍යාපාරිකයෙකු විසින් මෙම එතනෝල් තොගය ප්‍රවාහනය කර ඇති බවයි.
එම එතනෝල් තොගය උපාය දූතයන් යොදවා අත්අඩංගුවට ගනු ලැබූ බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ.
සැකකරුවන් සන්තකයේ තිබූ ලීටර් 200 බැගින් වූ බැරල් 15 ක් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලදී මාකඳුර ප්‍රදේශයෙන් එතනෝල් අඩංගු බැරල් 35 ක් සහ ඒවා ප්‍රවාහනය කරන ලද කන්ටේනර් රථයක්ද පසුව සුරාබදු නිලධාරීන් භාරයට ගනු ලැබුවා.
සැකකරුවන් විසින් කලක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, විදෙස් මත්පැන් ලෙස ඒවා නැවත අලෙවි කිරීමේ ජාවාරමක්ද පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එතනෝල් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමකද පැවති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර, කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පානීය ජල බඳුනක් පිටුපස පාර්සලයක තිබූ රුපියල් දෙකෝටියකට ආසන්න රන් බිස්කට් 28ක් රේගු භාරයට ගෙන තිබුණා.
ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු විසින් මෙම පාර්සලය නිරීක්ෂණය කොට රේගුව වෙත භාර දුන් බව සඳහන්.
රන් බිස්කට් 28 කිලෝග්‍රෑම් 3යි, ග්‍රෑම් 248ක් බරකින් යුක්ත වන අතර, එහි වටිනාකම රුපියල් එක් කෝටි අනූ පන් ලක්ෂ අනූ දෙදෙහස් එකසිය හැටක් ලෙස තක්සේරු කර තිබෙනවා.
රන් බිස්කට් හිස් දුම්වැටි අසුරණවල බහා එම පාර්සලයේ අසුරා තිබූ බවයි ගුවන් තොටුපළ රේගුව සඳහන් කළේ.
එසේම රුපියල් නව ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් කොතල හිඹුටු තොගයක් මෙරටින් රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු ද කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
36 හැවිරිදි මෙම චීන ජාතිකයා අද අලූයම චීනයේ කුන්මින් වෙත යාම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී එම කොතලහිඹුටු තොගය සොයාගෙන ඇති බව සදහන්.
එය රාජසන්තක කළ චීන ජාතිකයා වෙත රුපියල් 50,000ක දඩයක් ද පැනවූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.