Gossips

කෝටි ගණනක් වියදම් කරමින් පිළිකා රෝගීන් සුව කරන්න ගෙනා විකිරණ ප්‍රතිකාර යන්ත්‍රවලට සිදුව ඇති මහා අපරාධය හෙළිවෙයි

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය ටොමෝ තෙරපි සහ ලිනියර් එක්සලරේටර් යන්ත්‍ර දෙකක් ලබා ගැනීම සදහා රුපියල් කෝ්ටි 100 ක මුදලක් ජනතාවගෙන් ආධාර ලෙස එක්රැස් කරන පුවතක් මේ දිනවල සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
මේ අතර, ලිනියර් එක්සලරේටර් නමැති පිළිකා රෝගීන්ට ප්‍රතිකාර සදහා අවශ්‍ය කරන යන්ත්‍රයක් කරාපිටිය රෝහලේ වසර 4 කට ආසන්න කාලයක් තිස්සේ භාවිතයට නොගෙන පවතින බවට ද තොරතුරු වාර්තා වුණා.
එම යන්ත්‍රය ස්ථාපිත කිරීමට රුපියල් කෝටි 15 ක වියදමක් දරා විශේෂ ගොඩනැගිල්ලක් ද ඉදිකළ නමුත් ඊට විදුලිබලය නොමැතිවීම හේතුවෙන් එම යන්ත්‍රය සවි කිරීමට නොහැකි වී ඇති බවයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න කියා සිටියේ.
මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ගොඩනැගිල්ලට විදුලිබලය ලබාදීමට රෝහලට ඇස්තමේන්තුව යොමුකර ඇතත්, ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
එමෙන්ම, මීට පෙර ගෙවිය යුතු හිග මුදලක් ද පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ලිනිය ඇක්සලරේටර් හෙවත් රේඛීය ත්වරණ යන්ත්‍ර ශ්‍රී ලංකාවේ පලාත් 9 ටම එක පළාතකට එක් යන්ත්‍රය බැගින් රෝහල් සදහා ස්ථාපිත කිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ගෙන එනු ලැබුවේ 2010 වසරේදීයි.
අනතුරුව, 2013 වසරේදී එම යන්ත්‍ර 4 ක් සදහා අනුමැතිය හිමි වූ අතර, 2014 වසරේ මැද භාගයේදී ඒවා මෙරටට ගෙන්වීමට කටයුතු කරනු ලැබුවා.
ඉන් එක් යන්ත්‍රයක් මහරගම අපේක්ෂා රෝහලටත් අනෙක් යන්ත්‍ර තුන පිළිවෙලින් කරාපිටිය, මඩකලපුව සහ යාපනය රෝහල්වලට ලබා දී තිබුණා.

rnrnrn