Gossips

කොළඹ සුපිරි හෝටල් දෙකක රජයේ කොටස් විකිණීමේ සූදානමක් – අධිවේගී දුම්රියට කොමිස් ඉල්ලූ බවට ඇමතිවරයෙකුට චෝදනා

රාජ්‍ය හිමිකාරිත්වය සහිත කොළඹ තරු පන්තියේ හෝටල් දෙකක් ඉදිරි මාස 6 ක කාල සීමාව තුලදී ඇමරිකානු ඩොලර් මිලියන 500 කට විකුණා දැමීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
එම පුවත් සේවය අදාළ පුවත වාර්තා කර ඇත්තේ මෙරට රාජ්‍ය අමාත්‍යවරයෙකු ලබාදුන් ප්‍රකාශයක් මත පදනම්වයි.
ඒ අනුව, හිල්ටන් හෝටලයේ රජය සතු සියයට 51 ක හිමිකාරිත්වය සහ කොල්ලූපිටිය ප්‍රදේශයේ දැනට ඉදිවෙමින් පවතින ග්‍රෑන්ඩ් හයට් හෝටලය මෙලෙස විකිණීමට රජය සැලසුම් කරන බව රොයිටර් පුවත් සේවය සිය පුවතෙන් අනාවරණ කර තිබෙනවා.
එසේම, අධික විදේශ ණය ගෙවීම් සහ රුපියලේ අගය පහළ යාමේ අර්බුදයට ද ශ්‍රී ලංකාව මේ වසරේදී මුහුණදී ඇති බවයි එහි සදහන් වන්නේ.
අදාළ ප්‍රකාශය සිදුකර ඇති රාජ්‍ය අමාත්‍යවරයාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, එහිදී ඔහු සදහන් කළේ අදාළ හෝටල් විකුණා දැමීමේ කිසිදු සූදානමක රජය නොමැති බවයි.
ඒවායේ ආයෝජනය කිරීමට ජනතාවට අවස්ථාව ලබාදෙමින් එම හෝටල් ජනතාකරණය කිරීමට රජය සූදානම් වන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
මේ අතර, මෙරටදී අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ ආයෝජනයක් වසර දෙකක් පුරා ප්‍රමාදවීමේ තත්ත්වයක් පිළිබදව සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ නික්ලස් ශ්‍රීමාල් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ කළා.
මෙම ව්‍යාපෘතියට අදාළව 10% ක කොමිස් මුදලක් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නියෝජිතයෙකු ඉල්ලා සිටි බවයි එහිදී ඔහු කියා සිටියේ.