Gossips

කොළඹ වරාය පර්යන්තයක්, ඉන්දියාවට දීමේ යෝජනාවෙන් කැබිනට්ටුවේ මත ගැටුම්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන් ඊයේ (16) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊට විරෝධය පළ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
මෙම පර්යන්ත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙස ප්‍රවර්ධනය කළ යුතු බවට වරාය හා නාවික කටයුතු ඇමති මහින්ද සමරසිංහ කැබිනට් පත්‍රිකාවක් මගින් යෝජනා කර ඇති අතර, අගමැතිවරයා සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ඉන්දියාවට බදු දීමට දැනටමත් සාකච්ඡා කර ඇතැයි ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා හම්බන්තොට වරාය චීනයට දී තිබියදී, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයත් ඉන්දියාවට දුනහොත් හදිසියට නැවක් ගෙන්වා ගැනීමටත් වරායක් නැති වන බවට ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ නිසා වරාය බදු දීමේ යෝජනාවට අකමැති බවත්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ප්‍රශ්නය විසදා ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යාම වැදගත් බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, ද හින්දු පුවත්පත ඊයේ (16) වාර්තා කර තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය ආයෝජන මත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතිවල මන්දගාමී තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සූදානම් වන බවයි.
ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ව්‍යාපෘතිය ද හින්දු පුවත්පත දක්වා තිබුණා.