Gossips

කොළඹ ගං වතුර ගැන සොයන්න කමිටුවක්

කැළණි ගඟ සහ කොළඹ නගරය ආශ්‍රිත ගං වතුර පාලනය සඳහා කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය අතර, එය කිසිසේත් ප්‍රමාද කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
කැළණි ගඟ පහළ මිටියාවතේ වම් ඉවුර හා කොළඹ නගරය ආශ්‍රිත ගං වතුර පාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘතිය වාර්තාව පිළිබදව ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවට එකවෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ කේ.ඞී.ඒ.එම්. නානායක්කාර විසින් මෙම ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර ඇති අතර, එහි කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා.
මෙම ව්‍යාපෘති වාර්තාව සකස් කර තිබුණේ 2008, 2009 සහ 2016 වසර වල කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බලපෑ ගං වතුර තත්ත්වයක් පිළිබදව අධ්‍යයනය කරමින්.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබද සොයා බැලීමට සියළු ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී ඇති අතර, අදාළ ව්‍යාපෘති වාර්තාව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබෙනවා.