Gossips

කොළඹ කුණු, පුත්තලමට ගෙන යාම පමාවෙයි

කොළඹ එක්රැස්වන කුණු, පුත්තලම – අරුවක්කාලූ කසළ ගොඩබෑමේ මධ්‍යස්ථානයේ සහ සනීපාරක්ෂක කසළ රඳවන මධ්‍යස්ථානය වෙත රැගෙන යාම කල් දැමීමට සිදුව ඇති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අද සිට එම මධ්‍යස්ථානය වෙත කසල රැගෙන යාමට මීට පෙර සැලසුම් කර තිබූ බවයි.
කෙසේ වෙතත්, එහි ඉදිකිරීම් කටයුතුවල ප්‍රමාදයක් හේතුවෙන් මෙලෙස කොළඹ එක්රැස් වන කුණු මෙම මධ්‍යස්ථානය වෙත ගෙන යාම ප්‍රමාදකිරීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළා.
පුත්තලම – අරුවක්කාලූ කසළ ගොඩබෑමේ මධ්‍යස්ථානයේ සහ සනීපාරක්ෂක කසළ රඳවන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චයිනා හාබර් ඉන්ජියරින් සමාගමක් මගින් සිදුකරනු ලබනවා.
අදාළ සමාගමට එහි ඉදිකිරීම් කටයුතු ලබාදීමේ කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වනදායි.
ඇමරිකානු ඩොලර් මිලියන 105 ක වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය ලබන නොවැම්බර් මාසය තුළ අවසන් කිරීමට අපේක්ෂිතයි.
ව්‍යාපෘතියේ සමස්ත සැළැස්මට අනුව අරුවක්කාලූ දක්වා ඉදිවන දුම්රිය මාර්ගයක් ඔස්සේ කසළ, කොළඹ සිට රැගෙන යනු ඇති.
කෙසේ වෙතත් එම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිමවීමට නියමිතව ඇත්තේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේදියි.
එතෙක් මහාමාර්ගය ඔස්සේ කසළ ප්‍රවාහනය කිරීමට තීරණය කර තිබෙනවා.