Gossips

කොළඹ කුණු නොවැම්බරයේ සිට අරුවක්කාලූවට

කොළඹ එක්රැස්වන කුණු අරුවක්කාලූ ප්‍රදේශයට ගෙන යාමේ කසළ කළමනාකරණ ව්‍යාපෘතිය එළඹෙන නොවැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.
අරුවක්කාලූ කසල ගොඩබෑමේ මධ්‍යස්ථානයේ එක් කොටසක ඉදිකිරීම් අවසන් කර කඩිනමින් අවසන් කර කසළ බැහැර කිරීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.
පුත්තලම – අරුවක්කාලූ කසළ ගොඩබෑමේ මධ්‍යස්ථානයේ සහ සනීපාරක්ෂක කසළ රඳවන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චයිනා හාබර් ඉන්ජියරින් සමාගමට ලබාදීමට පසුගියදා තීරණය කරනු ලැබුවා.
එම ගිවිසුම අත්සන් තැබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වනදායි.
ඇමරිකානු ඩොලර් මිලියන 105 ක වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය වසර එකහමාරක් තුළ අවසන් කිරීමට අපේක්ෂිතයි.
ව්‍යාපෘතියේ සමස්ත සැළැස්මට අනුව නියමිතව ඇත්තේ අරුවක්කාලූ දක්වා ඉදිවන දුම්රිය මාර්ගයක් ඔස්සේ කසළ, කොළඹ සිට රැගෙන යාමටයි.
කෙසේ වෙතත් එම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිමවීමට නියමිතව ඇත්තේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේදියි. එතෙක් මහාමාර්ගය ඔස්සේ කසළ ප්‍රවාහනය කිරීමට තීරණය කර තිබෙනවා.
මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් පසු කසළ බැහැර කිරීමේ කටයුතු සිදු කෙරුණේ කෙරවලපිටිය ප්‍රදේශයටයි.
නමුත් මේ වනවිටත් එහි කසළ බැහැර කිරීමේ ඉඩකඩ සීමාවී පවතිනවා.
මෙම තත්ත්වය මත අරුවක්කාලූ කසළ ව්‍යාපෘතියේ එක් අදියරක් කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කළ බවයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසන්නේ.
මේ අතර ඇඹිලිපිටිය නගර සභා සීමාව තුළ කසළ එක් රැස් කරන ට්‍රැක්ටර් ගමන් ගන්නා මාර්ගය සහ එය තමන් සිටින ස්ථානය වෙත පැමිණෙන වේලාව දැනගැනීමට හැකි යෙදවුමක් එම නගර සභාව මගින් හඳුන්වාදී තිබෙනවා.
මෙම යෙදවුම මගින් ප්‍රදේශයේ යම් ස්ථානයක කසළ ගොඩගැසී ඇත්නම් ඡායාරූප මාර්ගයෙන් එය දැනුම්දීමේ හැකියාව පවතින බවයි ඇඹිලිපිටිය නගර සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.