Gossips

කොළඹ කුණු ගැටළුව යළි උග්‍රවන ලකුණු

කොළඹ නගරයේ ප්‍රදේශ රැසක සතියක පමණ කාලයක් එක්රැස්වී තිබෙන කසළ ඉවත් කිරීමේ කටයුතු මෙතෙක් සිදුකර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.
මාළිගාකන්ද, මරදාන, දෙමටගොඩ යන ප්‍රදේශවල මෙම ගැටළුව උද්ගතව ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර කොළඹ මහ නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කසළ බැහැර කරන කසළ අංගනයට වෙන් නොකළ කැළිකසළ භාරගැනීම අත්හිටුවා ඇති බවයි.
ප්‍රදේශවාසීන් කසළ වර්ගීකරණය කර භාරදීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම ගැටළුව උද්ගතව ඇති බවද එහි සඳහන්.
ඒ අනුව වෙන් නොකළ කසළ භාර නොගන්නා බවද කොළඹ මහ නගර සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මෙම ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් පළාත්සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් විමසීමක් කිරීමේදී ඔහු කියා සිටියේ නිවැරදි ලෙස කසළ වෙන් කර ලබා නොදීම හේතුවෙන් මෙම ගැටළුව පැන නැගී ඇති බවයි.
ඒ අනුව විධිමත්ව කසළ වෙන් කර ලබාදීමට ජනතාවටද වගකීමක් පවතින බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.
එහෙත් මෙම ගැටළුව නිසා නගරවැසියන් මෙන්ම කොළඹට පැමිණෙන ජනතාවද දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.
කොළඹ නගර සභාව වර්ගීකරණය කළ කසළ පවා රැගෙන නොයන බවටයි ඇතමුන් චෝදනා කළේ.