Gossips

කොළඹ අත්හිට වූ ජල සැපයුම දහවල් වන විට යථා තත්ත්වයට

කොළඹ ප්‍රදේශ කිහිපයක අත්හිටවූ ජල සැපයුම අද (20) දහවල් වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් ඊයේ (19) දහවල් 12 සිට අද (20) අලුයම 5 දක්වා කාලයේ දී ජල සැපයුම අත්හිටුවනු ලැබුවා.
අද (20) උදෑසන 5 වන විට අදාළ ප්‍රදේශවලට ජලය සැපයීමට අදාළ පියවර ගනු ලැබූ බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශය, කොළඹ 05, කොළඹ 07 සහ 08 ප්‍රදේශවලට ජලය සැපයීම යථා තත්ත්වයට පත්වීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇති.
එසේම මහරගම, බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට මෙන්ම කොළඹ 06 ප්‍රදේශයට ද අද (20) දහවල් වන විට ජලය සාමාන්‍ය පරිදි සැපයීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.