Gossips

කොල්ලකෑම්වලට සම්බන්ධ තුන්දෙනෙකු අත්අඩංගුවට

කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ තරුණියක සහ තවත් තරුණයන් දෙදෙනෙකු අතුරුගිරිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරුණියගේ වයස අවුරුදු 17 ක් වන අතර, අතුරුගිරිය – මැදගොඩලන්ද ප්‍රදේශයේ පදිංචි ඇය දැඩිව මත්කුඩු භාවිත කරන තැනැත්තියක බවයි අතුරුගිරිය පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
25 හැවිරිදි සෙසු තරුණයින් දෙදෙනාද මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් වන අතර, ඔවුන් මත්කුඩු මිලට ගැනීම සඳහා මෙම කොල්ලකෑම් සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා.
ඔවුන් සිදුකළ ආසන්නතම කොල්ලකෑම අතුරුගිරිය – වල්ගම ප්‍රදේශයේ නවාතැන්පලකින් වාර්තාවුණා.
තරුණිය දුරකථනයෙන් අමතා, පුද්ගලයෙකු එහි කාමරයකට ගෙන්වාගෙන පසුව තරුණයන් දෙදෙනා සමග එක්වී ඔහුගේ රන් ආභරණ කොල්ලකා ඔහුට පහරදී කතරගම ප්‍රදේශයට පලාගොස් තිබෙනවා.
එම සිද්ධියේ විමර්ශනවලට අනුවයි පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මීට පෙරද මත්කුඩු සමග අත්අඩංගුවට පත්වී ඇති අදාළ තරුණිය පරිවාස භාරයට ද යොමුකර ඇති අතර, ඉන් පලාගොස් යළි මෙවන් අපරාධ සිදුකර ඇති බව අනාවරණ වී තිබෙනවා.