Gossips

කොමසාරිස්ගේ නියෝගය නොතකා කළ වඟුරු බිම් ගොඩකිරීම

තලවතුගොඩ සිට හෝකන්දර දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි විශාල වගුරු බිමේ අක්කර ගණනවක් දේශපාලනඥයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාව මත සුක්ෂමව ගොඩකරන බව අප මුල්වරට හෙළි කළේ 2017 වසරේ ජුලි මස 08 වැනිදායි.
පසුගිය කාලයේ මහ වැසි සමයේදී මෙම ප්‍රදේශයේ අතිරික්ත ජලය පාලනය සදහා ප්‍රධාන සාධකයක් වුයේ ද මෙම වගුරු බිමයි.
එම අනාවරණයත් සමඟ අදාල ගොඩකිරීම් නවතා දැමීමට පියවර ගත් බව මෙම ගොඩකිරීම්වලට එරෙහිව සෘජුව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇති ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් ඩී.වී. බන්දුල සේන ප්‍රකාශ කළා.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම නීති විරෝධීව ගොඩකිරීම තීව්‍රර වුයේ වගුරු බිම අසලම පාලමක් තැනීම ආරම්භ කිරීමත් සමග බවයි.
එහි යන්ත්‍රෝපකරණ මෙහි නවතා තැබීමේ මුවාවෙන් සීග්‍රයෙන් මෙම වගුරු බිම වරින් වර ගොඩකිරීම සිදුකර තිබුණා.
පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කොළඹ වගුරු බිම් ගොඩකිරීම සම්පුර්ණයෙන්ම නතර කරන ලෙසට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණා.
ඉන් බොහෝ සෙයින් කලබල වී තිබු මෙම වගුරු ඉඩම ගොඩකරන ප්‍රාදේශීය දේශපාලනඥයා පොහොය දිනය යෙදී තිබු පසුගිය සෙනසුරාදා බැකෝ යන්ත්‍රයක් යොදා මුළුමනින්ම මෙම ගොඩකිරීම් අවසන් කර තිබෙනවා.
ඉන් ද නොනැවතුනු ඔහු පසුගිය ඉරිදා දිනයේදී කම්කරුවන් පිරිසක් යොද නීති විරෝධීව ගොඩකල ඉඩම වටා කම්බි වැටක් ඉදිකරන අයුරු හිරු සී.අයි.ඒ. කැමරා කාචයේ සටහන් වුණා.
ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාව වසරකට පෙර දැනුවත් කර තිබියදී සිදුවු මෙම නීති විරෝධී ගොඩකිරීම සම්බන්ධයෙන් දැන් ඔහුට පැවසීමට ඇත්තේ කුමක්ද ?
මේ කොමසාරිස් ජනරාල්වරයා පැවසු පරිදි නීතිය ක්‍රියාත්මක කළ ආකාරය ද ?
හිරු සී.අයි.ඒ. ඉදිරියේදීත් මේ පිළිබදව අවධානයෙන්.