Gossips

කොන්දේසියකින් තොරව ඉදිරිපත් වුණේ තම පක්ෂය ආරක්ෂා කරගැනීමටයි – මහින්ද අමරවීර

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුරයන් හා විපක්ෂනායකධුරය සම්බන්ධයෙන් ගැටලු පැමිණීමේදී කිසිදු කොන්දේසියකින් තොරව තමන් ඊට ඉදිරිපත් වුණේ තම පක්ෂය ආරක්ෂා කරගැනීමට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්.
– මහින්ද අමරවීර
– මේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිධුරයට පත් කළේ. ඒ නිසා එතුමාට කිසි අපහසුතාවක් ඇතිවෙන්නේ නැහැ මේ සන්ධානය ඇතුළට එන්න. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමා හිතනවා ඒ වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න පසුබට වෙන්නේ නැතෙයි කියලා. අපි කොච්චර කතා කළත් වැඩක් නැහැ ජාත්‍යන්තර බලපෑම් පිළිබඳව. අපි කොච්චර කතා කළත් වැඩක් නැහැ ජාතික ප්‍රශ්න පිළිබඳව. අපි වෙන්වෙලා බෙදිලා කටයුතු කරන්න ගත්තොත් මේ බලවේග ඔලුව උස්සනවා කියන එකත් අපි සිහිපත් කරගත යුතු වෙනවා. පසුගිය දිනවල ඇති වූ සිද්ධීන්වලදී මන්ත්‍රීධුර පිළිබඳව අභියෝගයක් ආවා. විපක්ෂ නායක ධුරය පිළිබඳව අභියෝගයක් ආවා. අපි ඒ හැම එකකදීම හිතුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න. සන්ධානය ගොඩ නගන්න නම් අපි වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කරන්නේ නැතුව එකම හැගීමකින් කටයුතු කරලා පක්ෂය එකමුතු කරන්න ඕනෑ කියන මතයේ ඉඳගෙන තමයි අපි ඒ අවශය ලිපි ලේඛන ඉදිරිපත් කරලා අපි ඒ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු කොන්දේසියකින් තොරව ඉදිරිපත් වුණේ. ඊළඟ ජනාධිපතිවරණයක් එනවා. පළාත් සභා මැතිවරණයක් තියෙනවා. ඒකට අපි මුහුණ දෙන්න ඕනෑ. ජාතිවාදය විතරක් කතා කරලා වැඩක් නැහැ. ඒ වගේම ජාත්‍යන්තරයෙන් අපිට එල්ල වෙලා තියෙන තර්ජන, ඒවා අපිට තර්ජනයෙන්ම මැඩ පවත්වන්න පුළුවන් කමකුත් නැහැ. අපි ඒවත් කළමනාකරණය කරගන්න ඕනෑ. මොකද ලංකාව තියෙන්නේ ලෝකේ ඇතුළේ මිසක් ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළෙ නෙමෙයි කියන එක අපි වටහාගෙන කටයුතු කරන්න ඕනෑ.