Gossips

කොටි සාමාජිකයන් දෙදෙනෙකුට වසර 185 බැගින් සිරදඬුවම්

විල්පත්තු වනයේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇන්ටනෝව් 32 ගුවන් යානයක් බිම හෙලා එහි සිටි 37 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනෙකුට අද වසර 185 බැගින් බරපතල වැඩසහිත සිරදඬුවම් නියම වුණා.
ඔවුන්ට එරෙහිව අධිචෝදනා 37 ක් ගොනුකර තිබූ අතර, ඒවා සියල්ලට වරද පිළිගැනීම හේතුවෙන් එක් චෝදනාවකට වසර 05 බැගින් මෙම සිරදඬුවම් නියම කර තිබෙනවා.
උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ සිරදඬුවම් කාලය වසර 05 කින් එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කරන බවයි.
මේ වනවිට විත්තිකරුවන් දෙදෙනා සිද්ධියට අදාළව වසර 08 ක කාලයක් බන්ධනාගාරගතව සිටිනවා.
මෙලෙස දඬුවම් නියම කෙරුණේ යාපනයේ පදිංචි ඉරාසතුරෙයි ජෙගන් හෙවත් පුලවන් සහ නල්ලාම් සිවලිංගම් හෙවත් සින්නතිලකන් යන එල්.ටී.ටී.ඊ. මිසයිල බලඝනයේ සාමාජිකයන් දෙදෙනෙකුටයි.
2000 වසරේ මාර්තු මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටනෝව් 32 ගුවන් යානයට මෙම මිසයිල ප්‍රහාරය එල්ල වූ අතර, එහිදී රුසියානු ගුවන් නියමුවා ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.