Gossips

කොටහේනේ වෙඩි තැබීම පිටරට සිට මෙහෙයවූවාදැයි සැකයක්

කොටහේන – හෙට්ටියාවත්ත මංසන්ධියේ ඊයේ (08) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීම පාතාල ක්‍රියාකාරමක් බවට පොලිසිය සිදුකල මුලික පරික්ෂණ වලදී හෙළි වී තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර තිබූ අතර, එහිදි එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.
මියගියා පුද්ගලයා සහ තුවාල ලැබූවන් ඥාතීන් වන අතර, ඔවුන් පිටකොටුව ප්‍රදේශයේ පළතුරු වෙළඳාමේ නිරත පුද්ගලයින් බවයි පොලිසිය සඳහන් කළේ.
දැනට විදේශගතව සිටින පාතාල නායකයෙකු වන කෙසෙල්වත්තේ දිනුක නැමැත්තාගේ පාතාල කල්ලියට කප්පම් මුදල් නොගෙවීම නිසා මොවුන්ට වෙඩි තබා ඇති බවට පොලිසිය සැක කරනවා.
පසුගියදා කිරිබත්ගොඩ – හුණුපිටිය හරස් පාරේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි දිනුක නැමැත්තාගේ ඥාතියෙකුට කිසියම් පිරිසක් වෙඩි තබා තිබූ අතර, එහිදී ඔහුට හානියක් සිදුවී තිබුණේ නැහැ.
වෙඩි වැදීමට ලක්වු එම පුද්ගලයාද පිටකොටුවේ පළතුරු වෙළන්ඳෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර රත්මලාන – ගොළුමඩම මංසන්ධියේ කල්දෙමුල්ල මාර්ගයේදී බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
වෙඩි වැදීමෙන් මන්ත්‍රීවරයාගේ පාදයකට තුවාල සිදුවී ඇති අතර, වෙඩි තැබීම සිදුකර තිබුණේ මෝටර් රථයක පැමිණි පිරිසක් විසින්.
අනතුරුව ඔවුන් පළාගොස් තිබූ අතර, සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් 30 වනදා වෙඩි වැදීමට ලක්වු පළාත් සභා මන්ත්‍රීවරයා ගල්කිස්ස කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ උණ්ඩ 03 ක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේයී.
හෙරොයින් සමඟ රත්මලානේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
අනතුරුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ඇප මත මුදා හැරුණා.