ජල ගැල්මට ලක්වීම හේතුවෙන් හෙට දිනය දක්වා වසා දැමුණු දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචින් ගුවන් තොටුපල ලබන 26 වනදා තෙක් විවෘත නොකිරීමට එම ගුවන් තොටුපල බලධාරීන් තීරණය කර තිබෙනවා.
කෙසේ නමුත් මෙලෙස කොචින් ගුවන් ගමන් පමාවීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් විකල්ප පියවර රැසක් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව කොචින් බලා යාමට ප්‍රවේශපත්‍ර වෙන්කරගත් ගුවන් මගීන්ට ජල ගැල්ම බලපා නැති දකුණු ඉන්දියාවේ ත්‍රිවෙන්ද්‍රම් හෝ වෙනත් ඕනෑම ගුවන් තොටුපලක් වෙත අමතර ගාස්තුවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව සැළසෙනු ඇති.
පසුගිය 15 වනදා කොචින් ගුවන් තොටුපල වසා දැමීමත් සමඟ එහි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටි ගුවන් මගීන්ට නවාතැන් පහසුකම් ලබාදී ඇති අතර, ඔවුන්ගේ කැමැත්ත පරිදි ත්‍රිවෙන්ද්‍රම් ගුවන් තොටුපල වෙතද රැගෙනවිත් තිබෙනවා.
