Gossips

කොකේන් වාර්තාව අගමැතිට

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කළ කමිටුව වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා.
මැති ඇමතිවරුන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය පත් කළ කමිටුව පසුගිය 22 වනදා පාර්ලිමේන්තු කමිටු කාමර අංක 7 දී රැස්වුණා.
එහිදී අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් පැය භාගයකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැණුනු බව සඳහන්.
ඒ අනුව, අද අග්‍රාමාත්‍යවරයා වෙත භාරදෙනු ලබන කමිටු වාර්තාව අනිද්දා රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ද සාකච්ඡාවට ගැනෙනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
මේ අතර, රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් ඇතුළු සිවිල් සමාජ කි්‍රයාකාරිකයින් රැසක් අදත් අදහස් පළ කළා.