Gossips

කේරළයේ ජල ගැලීමෙන් ජීවිත හානි තවත් ඉහළට

සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෝසම් සමයේ ඉන්දියාවේ මුළු ජීවිත හානි සංඛ්‍යාව ඒ අනුව 350 ඉක්මවා තිබෙනවා.
කේරළයේ බහුතර ප්‍රදේශ තවදුරටත් ජලයෙන් යටවී ඇති අතර, වර්ෂාපතනය තව දිනක් හෝ පවතිනු ඇති බවයි ඉන්දීය කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ.
ලක්ෂ 6 ඉක්මවූ කේරළ ජනතාව මේ වනවිට 3,000 කට අධික තාවකාලික කඳවුරුවල රඳවා සිටිනවා.
ඊයේ (18) ගුවන් මගින් කේරළයේ ජල ගැල්ම නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහන මෙහෙයුම් සඳහා ඉන්දීය මධ්‍යම රජයෙන් රුපියල් කෝටි 500 ක් ලබාදීමට නියෝග කළා.
එමෙන්ම යුද, ගුවන් සහ නාවික හමුදා තවදුරටත් ජීවිතාරක්ෂක මෙහෙයුම්වල නිරතවන අතර, මේ වනවිට ඒ සඳහා යොදවා ඇති හෙලිකොප්ටර් සංඛ්‍යාව 38 ක්.